Friday, June 21, 2019

ඇත්තටම සතුට තියෙන්නේ මේ භෞතික සම්පත් වලද?


"අනේ මන්දා හරියට කන්නේ බොන්නේ නැ, ෂොපින් යන්නේ නැ. ඔහොම ඉතුරු කරලා මැරෙනකොට ගෙනියන්නද? ඉන්න කාලේ සතුටෙන් ජිවත් වෙන්නේ නැතුව."
මිනිමලිස්ම් ඉතිරි කිරීමේ ක්‍රම ගැන ගොඩක් අය මෙහෙම කතා වෙනවා. 

ඇත්තටම සතුට තියෙන්නේ මේ භෞතික සම්පත් වලද?

මිනිමලිස්ට් ඉතිරි කිරීමේ ක්‍රම ගැන අපේ කලින් පොස්ට් එකට මෙහෙම කියපු පිරිසකුත් හිටියා. ඇත්තටම එහෙම හිතන පිරිසක් ඉන්නවා. මමත් මිට කලින් ඒ විදිහට හිතපු කාලයක් තිබුණා. සමහර විට ඔයාත් මේ විදිහට කලින් හිතන්න ඇති. නැත්තම් දැන් මේ විදිහට හිතන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ මොන විදිහට හිතුවත් අපි මේ හැම කෙනෙක්ගෙම සිතුම්පැතුම් වලට ගරු කරන්න ඕන, මොකද අපි හැමෝටම අයිති මාර්ගයක් මේ ජිවිත ගමනේ තියෙනවා. නමුත් මේ ලිපි මාලාවේ අරමුණ ඔබ වෙනසක් හොයනවා නම් පමණක් එයට යම් දෙයක් එකතු කිරීමයි. ඉතින් අපි ටිකක් විමසලා බලමු ඇත්තටම සතුට තියෙන්නේ භෞතික දේවල් වලද කියලා.

මිනිමලිස්ට් ජිවන රටාවට අනුව ජීවිතය හැඩගස්සවා ගන්න කලින් ඇත්තටම මමත් එහෙම කෙනෙක්. ඒ කිවුවේ මම භෞතික දේවල් වලින් සතුටු වුණු කෙනෙක්. අලුත් ඇදුමක් ගත්තොත් නත්නම් අලුතෙන් හෑන්ඩ් බෑග් එකක් ගත්තොත් මම ගොඩක් සතුටු වුණා. ඒ වගේම ගෙදරට අලුතෙන් බඩුවක් ගත්තත් එහෙමම තමයි. ඒ ගත්ත භාණ්ඩේ වටිනාකම වැඩි වෙන්න වැඩි වෙන්න මගේ සතුටත් වැඩි වුණා. නමුත් මේ හැම දෙයකම සතුට තිබුණේ බොහොම සුළු කාලයක් විතරයි. ඇදුමක් ගත්තාම වැඩිම උනොත් එක අදින්න, බලන්න ආස වුණේ දවසයි නැත්තම් දෙකයි. ඊට පස්සේ එකත් අනිත් ඇදුම් ගොඩටම වැටෙනවා. ගෙදරට දෙයක් ගෙනාවහමත් එහෙමයි. අලුතෙන් ටීවී එකක් ගෙනාවොත් සතියක් විතර යනකන් අනේ හරි ශෝක් කියලා හිතෙනවා. එත් අන්තිමට අර කලින් තිබුණ ටීවී එකේ බලපු ටිකම බලන සාමාන්‍ය ටීවී එකක් බවට එක නිකන්ම පත් වෙනවා. මේක තමයි ඇත්තටම හැමදේකටම වෙන්නේ. 

දැන් මේක කියවනකොට ඔයාටත් මේ වගේ වුණ දේවල් මතක් වෙනවා නේද? නමුත් හිතලා බලන්න තත්පර කියක්ද ඒ සතුට තියෙන්නේ? නැත්තම් දවස් කීයක්ද කියලා. හිතන්න අපි ඒ සදහා යොදවන මුදලට, ඒ මුදල හොයන්න ඔයා යොදවපු ශ්‍රමයට ඒ පොඩි මොහොතේ තාවකාලිකව ලබන සතුට වටිනවද කියලා? 

උදාහරණයකට හිතනන ඔයා ලස්සන ඇදුමක් දැකලා එක අත්‍යාවශ්‍ය නොවුනත් මිලට ගන්නවා කියලා. සාමාන්‍යයෙන් අද ලංකාවේ රු.2000කට අඩුවෙන් ඇදුමක් මිලට ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා අපි හිතමු මේ ඇදුම රු.2000ක් කියලා. කල්පනා කරලා බලන්න සාමාන්‍ය ලිපිකරුවෙක්ගේ නැත්තම් සේල්ස් ගර්ල් කෙනෙක් වගේ බොහොම සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්ගේ වැටුප මාසෙට රු.25000ක් වගේ. ඕටි අරවා මේවා එක්ක ඉතින් අපි 30000ක් ගත්තා කියමු. එතකොට දවසට අඩුම පැය 8 ගානේ ඔයා මාසෙට පැය 160ක් වැඩ කරලා තමයි ඒ වැටුප ඔයාට ලැබෙන්නේ. ඉතින් මේ ඇදුමට වියදම් කරන රු.2000 හොයන්න ඔයා පැය 10ක් වැඩ කරපු ශ්‍රමය වියදම් කරනවා. ඉතින් මේ ගන්න ඇදුම ඔයා පැය 10ක් ගෙදර පවුලෙන් වෙන් වෙලා, සැමියාගෙන් බිරිදගෙන් දරුවන්ගෙන් ඈත් වෙලා ඔෆිස් එකේ නැත්තම් ෆැක්ටරියේ කට්ට කාගෙන වැඩ කරපු එක තරම් වටිනවාද?  බස් එකේ කෝච්චියේ එල්ලීගෙන තෙරපිලා වැඩට ගියේ ඔයා මේ ඇදුම අරගෙන මේ තාවකාලික සතුට ලබන්නද? 

මේක තමයි අපිට මිනිමලිස්ට් වලින් පෙන්වලා දෙන ප්‍රධානම දේ. භෞතික දේවල් වලින් අපිට ලැබෙන සතුට තාවකාලිකයි වගේම ඒ සතුට ලබන්න අපිට ජිවිතේ කරන්න වෙන කැපකිරීම් වලට වටිනාකමක් එක් කරන්නේ නැහැ. ගොඩක් රට වල මිනිස්සු මේ මිනිමලිස්ට් ජිවන රටාව වැළද ගන්නත් මුලිකම හේතුවක් තමයි අඩු වයසින් රැකියාවෙන් විශ්‍රාම ගිහින් නිදහසේ ජිවත් වෙන්න ඔවුන් හිතන එක. නමුත් ලංකාවේ ගොඩක් අයගේ ආකල්ප මිට හාත්පසින්ම වෙනස්. ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාවට 55 විශ්‍රාම යන්න තිබුණත් 60 වෙනකන් ඉල්ලන් වැඩ කරනවා. බොහෝ විට එහෙම වැඩ කරන්න වෙන තත්වෙට ඔවුන් අසරණ වෙනවා. කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා බොහෝවෙලාවට මෙහෙම වෙන්නේ ඇත්තටම අපේ ජිවන රටාවේ තියන අඩුපාඩු නිසා. අපි අද දවසේ ගන්න තීරණ වලින් තමයි අපේ අනාගතය තීරණය වෙන්නේ. රැකියාවක් කරන කෙනෙක් බොහෝ විට හැමදාම උදේ එළිය වැටෙන්න කලින් වැඩට ගිහින් ආයෙමත් රෑ කළුවර වැටෙනකොට ගෙදර එනවා. ගෙදර සැමියා බිරිද දරුවෝ එක්ක ගත කරන්න කාලයක් ඔවුන්ට නැහැ. මේ හේතු නිසා වර්තමානයේ ගොඩක් දෙනා මේ මිනිමලිසම් ක්‍රමය උපයෝගී කරගෙන අඩු වයසින් විශ්‍රාම ගිහින් තමන්ගේම කියලා දෙයක් ගොඩනගා ගෙන ජිවිතේ නිදහස සැහැල්ලුව විදින්න උත්සහ කරනවා. 

නමුත් කෙනෙක් හිතන්න පුළුවන් වැඩියෙන් වැඩ කරලා සල්ලි හොයනවා නම් ගෙදරින් බිරිදගෙන් දරුවන්ගෙන් ටික කාලෙකට ඈත් වුණාට මොකද කියලා. මේකට හොදම පිළිතුර තමයි මිට දින කිහිපෙකට කලින් මුහුණු පොතේ විදේශීය මිනිමලිස්ට් ක්‍රමයට සම්භන්ධ සමුහයක කාන්තාවක් ගැටළුවක් ඉදිරිපත් කරලා තිබුනා. ඒ ගැටලුව තමයි ඇගේ සැමියාට රැකියාවේ උසස්වීමක් ලැබෙන්න යනවා, මේ උසස්වීම ඔහුට ලැබෙන්නේ ඔහු දැන් සේවය කරන ප්‍රදේශයෙන් ඉවත්ව වෙනත් රටක එම ආයතනයේ ශාඛාවක සේවයට ගියොත් පමණයි. ඉතින් ඔහු සමග ඇයට යන්න පුළුවන් කමක් නැහැ ඇගේ රැකියාව හා දරුවන්ගේ පාසල් අතහැරලා. ඉතින් මාස 6කට වරක් තමයි මේ උසස්වීම ගත්තොත් සැමියාට ගෙදර එන්නත් පුළුවන්. කියන එක. ඉතින් ඇය මේ සමුහයේ ඉන්න අනිත් අයගෙන් අහනවා ඇය ගන්න ඕන හොදම තීරණය මොකක්ද කියලා. ඉතින් මේ පොස්ට් එකට දාලා තිබුණ කමෙන්ට් කිහිපයක් මට දකින්න ලැබුණා. ඒ අතර එක කමෙන්ට් එකක කාන්තාවක් මෙහෙම කියලා තිබුනා.

" මගේ මහත්තයා මාසෙකට $22,400ක් උපයනවා(ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 38ක් පමණ)  ඔහු ගෙදර ආවේ අවුරුද්දකට සැරයක් විතරයි. අපිට අතට පයට සේවකයෝ හිටියා, ඔහුගේ රැකියාව නිසා ගොඩක් සුවපහසු ජිවිතයක් මමයි දරුවෝ තුන්දෙනයි ගත කළා. නමුත් මිට වසර දෙකකට කලින් ඔහු එම රැකියාවෙන් ඉවත් වුණා. ඒ අපේ අවුරුදු දෙකක් වයස පොඩි පුතා හදිසි අනතුරකින් අපිව දාලා ගිය නිසා. මගේ සැමියා ඔහුගේ මුළු ජිවිත කාලයටම පුතා එක්ක ඉදලා තියෙන්නේ දවස් 26ක් විතරයි. ඔහු අවසාන වතාවට නිවසට ආවේ පුතාගේ අවුරුද්දේ උපන්දින සාදයට. ඉන්පසුව දරුවා මියයන තුරුම ඔවුට පුතාව දකින්න වෙලාවක් තිබුණේ නැහැ. ඒ නිසා මම හිතන්නේ නැ අපි හොයපු සැපපහසුව මිල මුදල් මේ කිසිදෙයකින් ඒ අඩුව මකාගන්න පුළුවන් කියලා. ඇත්තටම බැලුවොත් මේ කිසිදෙයක් ඒ තරම් වටින්නේ නැහැ."

කොයිතරම් හිතන්න දේවල් ඒ වචන ටික ඇතුලේ තියෙනවද?

අපි මිලමුදල් සැපපහසුව පසුපස හබායන විට අපිට අපේ ජිවිතේ බොහෝ දේ මග හැරෙනවා. සතුට තියෙන්නේ භෞතික සම්පත් වල නෙවෙයි අපේ ළග ඉන්න අපේම ආදරණීයයන් ළග තමයි සතුට තියෙන්නේ. ඒ නිසා මේ භෞතික දේවල් වලින් තාවකාලික සතුටු වෙන වෙලාවේ අපි ඒවා සිමා කරගෙන ඒ කාලය මුදල් යොදවලා අපේ ආදරණියයන් එක්ක වැඩියෙන් කාලය ගත කරනවා නම් ඒ ආදරණිය මතකයන් හැමදාටම ජිවිතයේ අපිට සතුට ලබා දෙවි.


1 comment:

  1. දියුණු වෙන්න හදන උන් වෙනුවෙන්
    https://magelokaya01.blogspot.com/2017/10/blog-post_80.html

    ReplyDelete

තාත්තා

තාත්තා  දෙවන පරිච්ඡේදය   මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...