Friday, July 30, 2021

තාත්තා


තාත්තා 

දෙවන පරිච්ඡේදය



 මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය.


“ අනේ පොඩි පුතේ... උඔ දැන්ද ආවේ.”

“ ඔව් අම්මා, මොකද අයියට වෙලා තියෙන්නේ.”

සුසුමක් හෙළු ඈ, “ උඔ උදේට කාළාද ?” යැයි පොඩි දිසාගෙන් ඇසීය.

“ නැ. මං එහෙන් පාන්දර කෝච්චියේ ආවේ, ඒ වෙලාවට ගෙදර වැඩට ඉන්න මිනිහා අවිතුත් නැ.”

“  උඔ ඇදිලා ගිහින්, කොහෙද ඕකුන් හදන ඒවා කන්න පුළුවන් ඇති යැ ඉතින්. ඉදහන් උදේ පුච්චපු රොටියක් ඇති මං හනික රත් කරලා දෙන්න.” යැයි කියමින් තම පොඩි පුතු දෙස බැලු ඇය පපුවේ ඇවිළෙන දරු ස්නේහයෙන්ය.

පොඩි දිසේ රැකියාවට ගොස් දැනට වසර දහයක් පමණ ගතවී ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ සහයක මාර්ග පරීක්ෂක තනතුර සදහා රැකියාවට බැදී ඔහු ස්ථිර මාර්ග පරීක්ෂක විශේෂ පන්තිය දක්වා උසස් වීම් ලබා රජයේ නිල නිවසක් හා සේවකයෙක් ඔහුගේ පරිහරණය සදහා ලැබිය. පළමු ශ්‍රේණියේ රැකියාවක් වූ හෙයින් ඔහු ඉහළ වැටුප් හා වේතන ලැබිය. රැකියාවට බැදෙන විට ඔහු අවුරුදු දහනවයක් වූ තරුණ කොළු ගැටයෙක් විය. මේ වන විට ඔහු හැඩි දැඩි පිරිමියෙකු වුයේය. නමුත් කෙතරම් උසස් ජීවතයක් ඔහු ගෙවුවත් කොතරම් ඔහු හැඩි දැඩි වුවත් ටිකිරි මැණිකාට ඔහු තවමත් ඇයගේ පහසේ හැදී වැවුණු කුඩා කොළු ගැටයා විය. රැකියාවට යන තෙක් ඇයගේ සෙවණේ වූ පොඩි දිසේ මාස ගණන් ඇගෙන් ඈත්ව සිටීම නිසා ඔහු දුටු විට ඇගේ  මවු සෙනෙහස උතුරා ගලා යයි.

මව සාදා දුන් අහාර අනුභව කල පොඩි දිසේ ඇයගෙන් තුවායක් ඉල්ලාගෙන සහෝදරයා තමන්ට කියන්නට යන දේ කුමක්දැයි සිතමින් ඇල්ලට යෑමට කන්ද නගින්නට විය.

මැද ගෙදර පිහිටා තිබුණේ කරත්ත පාරට සමාන්තරව මීටර් පණහක් පමණ  උස් වූ කුඩා කදු බැවුමක තැන්නේය. ඊට එපිටින් විශාල කන්දක් විය. ගම්මුන් මැද ගෙදරට පසෙකින් වූ අඩි පාර දිගේ හරකුන්ට තණ කැපීමට හා දර ඇහිලිමට ඒ කන්ද තරණය කළේය. කදු මුදුණින් ඇරබෙන ජල උල්පතක් මැද ගෙදර සිට මීටර් සියයක පමණ දුරක් උඩට යන විට ඇති කදු ගැටයකින් කඩා හැලෙන කුඩා දිය ඇල්ලක් බවට පත් වෙයි. මැද ගෙදරට අයත් ඉඩමේ මේ ඇල්ල පිහිටි හෙයින් එකල ඔවුන් හා හිතවතුන් කිහිප දෙනෙකු හැර එහි යන කිසිවෙකු නොවිය. කුඩාවට කපන ලද පියගැට පෙළ දිගේ ඉහළට ගමන් කළ කරුණාරත්න වට පිටාව විපරම් කරමින් ඇල්ල දෙසට ගමන් කළේය. හිරු මද්දහනට ලං වුවත් තවමත් සීතලෙන් හා මද මිහිදුමෙන් තෙත්ව පවතී පරිසරය නිසා ඔහුට ඇල්ලට යාමට සිත් නොවිය. ඒ වකවානුවේ පොඩි දිසේ සේවය කරමින් සිටියේ පට්ටිපොළ දුම්රිය ස්ථානයේය. මොරගහන වැසි ඇද වැටෙන රාත්‍රියක දුම්රියක් පීලි පැන ඇතැයි යන පණිවුඩය ගෙන එන මුරකරු දකින විට ඒ ශීතල තෙතබරියාවට ඔහු වෛර කළේය. ඔහු ඇල්ලට ළගා වන විටත් ලොකු දිසේ එහි ගොස් සිටියේය. ඇල්ල අද්දර වූ ගලක් මතට වී පෙර කොට්ටක් හපමින් සිටි ඔහු වට පිට බලා පොඩි දිසේට එන්න යැයි අතින් සන් කළේය.

“ මල්ලි එනකොට තව කවුරුත් එනවා දැක්කාද?” ඔහු කරුණාරත්නගෙන් විමසුවේය.

“ ඔහේ නැ, ඇයි ?”

“ මෙව්වා කාටවත් ඇහෙන්න කතා කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ගෙදර කොයි වෙලාවේ බැලුවත් සෙනග නොවැ. එකයි මම උඔට මෙතෙන්ට එන්නය කිවුවේ නිස්පාසුවේ කතා කොරන්න.”

“ මොකක්ද ඔය හැටි වැදගත් කාරණාව ?”

“ හහ්හ්... උඔ නංගිව දැක්කාද? ඇවිත් මෙච්චර වෙලා ගියා උඔට නිකමටවත් හිතුනේ නැද්ද කෝ එකී කියලා?”

“ අහන්න දෙයක් තියනවා යැ, කොහේ හරි ගිහින් ඇති කෙල්ලෝ ටික එක්ක.”

“ එහෙම උනා නම් හොදා, එකී කාබරේට වෙලා බලා ගත්තු අත බලාන ඉන්නවා ලු. අම්මා මට ඊයේ උදේ ටැලිෆෝන් කරලා කිවුවේ. මාත් ආව ගමන් ගිහින් කතා කරලා බැලුවා. එකී මා එක්කත් කතා බහක් නැ.”

“ මොකක්? අර මක්ක වෙලාද ”

“ උඔ දන්නවා නේ මල්ලි මේ ටිකේ සති අන්තේ ගෙදර වැඩ ටික ඉවර කරන්න මම මෙහෙ ආව විත්තිය. ඉතින් මෙතන ගෙදර වැඩවලට උදවුවටය කියලා ගමේ හැම එකාම එන්න ගත්තා. උඔ දන්නවා නේ විජේ, එගොඩහා රණසිංහලාගේ ලොකු එකා.”

“ මේ අපේ අමරේගේ පංතියේ හිටපු විජේ?”

“ඔව් ඔව්. ඌ තමයි. ඌ ගිය සතියෙම ආවා වයරින් වැඩ කරන වෙලාවේ උදවුවට. නංගි අම්මාට කියලා තියනවා විජේව බදින්න ඕන කියලා. එවලේ අම්මා ඒකිට තරවටු කරලා. එදා ඉදන් එකී කෑමක් බිමක් නැතුව ඉන්නවා ලු. මං ඇහුවමත් කිවුවේ විජේව බදින්න ඕන කියලා විතරයි.”

“ අයියාට පිස්සුද, ඌ මහා නාහේට අහන එකේක්.”

“ එකනේ මාත් කිවුවේ, මෙකි වෙන එකෙක්ව කිවුවා නම් මේ දැන් වුණත් බන්දලා දෙන්න තිබ්බා. ඕකා මේ වැඩ අස්සේ හවසට අඩියක් එහෙම ගහනකොටත් සෙට් වුණා. මිනිහා හෙන තිරිසන් අදහස් තියන එකෙක්. මට වඩා මල්ලි දන්නවා ඇති නේ. උපාලි කිවුවා ඌ උඔ එක්ක රබුක්කන වැඩ කරද්දී නැවතිලා හිටියා කියලා.”

“ හ්ම්ම් ඔව්, ඌ කීප දොහකම ඇවිත් ඉදලා තියනවා ඌට වැඩක් නැති නිසා. මිනිහා නම් නංගිට ගැලපෙන්නේ නැ. නාහෙට අහන එකා. මිනිහාගේ පපුවේ කිසිම තෙතමනයක් නැ. උන්ගේ තාත්තාත් එහෙමයි මං දන්න විදියට.”

“ අම්මත් එකමයි කිවුවේ, කොහෙද මේකිට එක තේරුම් කරාට තේරෙන්නේ නැ නෙවැ. අනික ඕකුන් රදා... අඩු කුළේ පර හැත්ත...”

“ තුහ්හ්...” කියා කෙල පහරක් බිමට ගැසූ සෙනවිරත්න නැවත කතාව ඇරබුවේය.

“ උන්ට කවුද යකෝ ගෑණු දෙන්නේ... මේවා කලින් දන්නවා නම් ගෙවල් වලට වැද්දගන්නේ නැ බං මුන්ව.”

“ කුළේ නම් මොකෝ මනුස්සයා හොද නම්, එත් ඉතින් මේකා....” යැයි පොඩි දිසේ කීමට ආ දෙය ගිලගත්තේය.

" හ්හ්... කුළේ නම් මොකෝ...  අනේ උබේ අබුද්දස්ස කාලේ කතා... ඕවා අරකිට ඇහෙන්න එහෙම කියවා නෙවේ...  ගිහින් ටිකක් එකී එක්ක කතා කරලා බලපන්. එකී මටයි අම්මටයි දෙයක් කියන්නේ නැ තියන බය නිසා. එත් උඔ එක්ක එකී ඕනෑ දෙයක් කියනවා නේවැ”

“ හ්ම්ම්... බලමු. මම හෙමිහිට කතා කරලා බලන්නම්.”

“ හ්ම්ම්... බලමු, බැරි උනොත් ඒකිගේ කරුමේ තමයි. තාත්තා නැති වුණ දවසේ ඉදන් මං මට පුළුවන් දේවල් කරා ඒකිව හොදින් තියන්න” යැයි කියමින් ලොකු දිසේ නා ගැනීමට ඇල්ලට ඔලුව ඇල්ලුවේය.

පවුලේ බඩ පිස්සා වූ යසවතී පොඩි දිසේගේ හා ලොකු දිසේගේ නැගණිය විය. මුදියන්සේ මිය යන විට සේනාරත්න වයස අවුරුදු දොළහක් පමණ වූ කුඩා දරුවෙක් විය. දිනක් සවස් යාමයේ මුදියන්සේ වැඩ ඇරී නිවසට පැමිණෙන විට නිවාස පිටු පසින් විශාල කාලගෝට්ටියක් ඇසුණේය. නිවස පිටුපසට ගිය මුදියන්සේ දුටුවේ කොල්ලන් පිරිසක් පොරකමින් රණ්ඩු වන ආකාරයයි. ඒ අතර තම වැඩිමහල් පුත් බණ්ඩාර සිටිනු ඔහු දුටුවේය. මුදියන්සේ හා ටිකිරි මැණිකා විවහා වී වසර ගණනක් යන තෙක් දරු පල නොලැබීම නිසා හදාවඩා ගැනීමට ගත දරුවා බණ්ඩාර විය. කුඩා කල සිටම මහත් ආදරය සෙනහස මත වැදුණු බණ්ඩාර මුදියන්සේට හා ටිකිරි මැණිකාට දරුවන් ලැබුණු පසු මුරණ්ඩු දරදඩු දරුවෙක් විය. බණ්ඩාර තරුණ වියට පැමිණෙන විට ගමේ චණ්ඩි කැල හා එක් වීය. මත් පැන් වලට ඇබ්බැහි වූ බණ්ඩාර නිවසින් මුදල් ඉල්ලා නිතර ගැටුම් ඇති කර ගත්තේය. ගමේ චණ්ඩි සමග ඇති කරගත් ගැටුමක් නිසාවෙන් ඔවුන් ඔහු සොයා මැද ගෙදරට පැමිණ තිබුණේය. සිද්ධිය සමතයකට පත් කිරීම සදහා එහි ගිය මුදියන්සේ හා බණ්ඩාර අතර ඇති වූ බහින්බස් වීමක් දුර දිග ගියේය. මුදියන්සේ ගෘහ මුලිකයා වී සිටින තාක් තමාට අවශ්‍ය කරණා ඉටු කරගත නොහැකි නිසා එයින් ගැලවීමටත් මෙය සුදුසුම අවස්තාව යැයි සිතු බණ්ඩාර ගැටුමට ආ පිරිසට පහර දීමට ඔහු අත තබාගෙන සිටි කටු කම්බි පටලන ලද කිතුල් මුගුර මුදියන්සේට පිටුපා සිටි ඔහුගේ සගයෙකුට දිගු කොට මුදියන්සේට පහර දෙන ලෙස ඉගි කළේය. බණ්ඩාරගේ කීම මත මුදියන්සේගේ හිසට වැරෙන් පහර දුන්  කිතුල් මුගුරෙන් පහර කෑ මුදියන්සේ දෑතින් හිස බදාගෙන නිවස වෙත ආවේ ගතේ ඉතිරිව තිබු අවසන් ශක්තිය ද වැය කරමිනි. සිද්දිය කණ වැකි නිවසට ආ පිරිස් එක්කව මුදියන්සේ ඉස්පිරිතාලය රැගෙන යන අතර අධික ලේ වහනය නිසා මුදියන්සේ මිය ගියේය. බණ්ඩාර ඇතුළු ගැටුමට මුල් වූ තවත් තරුණයින් දෙදෙනෙක් ජීවිතාන්තය දක්වා සිපිරිගෙට නියම විය. එතැන් පටන් ටිකිරි මැණිකේ දස වද විද තම දරුවන් තිදෙනා උස්මහත් කළේය. පවුලේ වැඩිමලා වූ හෙයින් ලොකු දිසේ නිතරම සිය නැගණියට පියෙකු සේ ලෙන්ගතු විය. එම නිසාවෙන් ඈ හදිසියේ ගත් මේ තීරණය ඔහුගේ සීත පාරවන්නට විය.

ලොකු දිසේ හා පොඩි දිසේ එක්ව සවස් වරුවේ උපාලි හමුවීමට ගියේ මගදී දුන් කට වචනයටය. සියදෝරිස්ගේ මරණයෙන් පසු උපාලිගේ වැඩිමල් සහෝදරයන් සියලු දෙනා විවහා වී වෙනත් නිවෙස් වල පදිංචියට ගිය බැවින් තවම පෙලවහක් කරගෙන නැති උපාලි මව සමග මහගෙදර තනිව ජිවත් විය. මහගෙදරට පහළින් මහවැලි ගග ගලා බසින්නේය. ඔවුන් එක්ව ගගෙන් දිය නා කළුවර වැටෙන තෙක් උපාලි හා පුරාජේරු කියවමින් ඉද රැ කෑම වෙලාවට ආසන්නව නිවසට ආවේය.

ඔවුන් නිවස ආසන්නයට පැමිණෙන විට මැද ගෙදරට පැමිණි පිරිස් එකා දෙන්නා කරත්ත පාර දිගේ පිට වී යන අයුරු දැකගත හැකි විය. නිවසට ගොස් විවාහය පිළිබද කාරණය සිය නැගණිය හා කතා කිරීමට සිතා ගත් පොඩි දිසේ නිවසේ සිටි පිරිස නික්ම යන තෙක් මුළුතැන්ගෙට ගොස් සිටියේය. මුළුතැන්ගෙය තුළ ටිකිරි මැණිකා ලහි ලහියේ රාත්‍රී ආහාරයට ඉදි අප්ප සාදන්නීය. මුළු පවුලම බොහෝ කලකින් එකතු වීම නිසා ඇය ඉතා සතුටට පත්ව ඇති බව පොඩි දිසේට වැටහුණි. ඔවුන් කුඩා කළ පියා මිය ගිය පසු මව තනිව ටවුමේ සිට විශාල බඩු මලු කර තියාගෙන පා ගමනින්ම එන අකාරය ඔහුට මතක් විය. වෙල් යායේ ක්‍රිකට් ගසමින් සිටින කොලු රංචුවේ සිටින පොඩි දිසේ දිව ගොස් ඇගේ අතේ ඇති මල්ලක් උස්සාගෙන නිවාස දක්වා ගොස් නැවතත් කොලු නඩය හා එක්වීමට වෙල්යායට දිව යයි.  නමුත් ඇය වයස්ගත වන ආකාරය දුටු පොඩි දිසේට ඇය මෙලෙස වෙහෙස වී වැඩ කරණු දැකීම ඉවසිය නොහැකි විය.

“ අම්මා කොහොමද හැමදාම මෙහෙම වැඩ කරන්නේ. අපි වැඩට කෙනෙක් ගමු.”

“ අනේ පුතේ... මට මේවා හුරුයි. ඇරත් අපේ පරම්පරාවේ කවුරුත් උයන පිහන වැඩ වලට වැඩට කවදාවත් පිට ගැණු ගත්තේ නැ.”

“ ඒ ඒකාලේ නේ අම්මා. අනික අනිත් ගෙවල් වල ඕනෑ තරම් මිනිස්සු ඉන්නවා වැඩ කරන්න. මෙහෙ එහෙම කවුරුත් නැ නේවැ. මම අයියාට කියන්නම් වැඩට කෙනෙක් හොයන්නය කියලා.”
  
“ අනේ එපා පුතේ, මට මේවා තනියම කරන එක පහසුයි. අනික දැන් ඉතින් උඔයි අයියයි පෙළවහක් කරගත්තාහම ලේලියෙක් එයි නේවැ මගේ උදවුවට.” යැයි ටිකිරි මැණිකේ පොඩි දිසේ දෙස බලා සිනාසී පැවසීය. මවගේ වදනින් ලැජ්ජාවට පත් පොඩි දිසේ එතැනින් නැගිට ආවේ නිවසේ වූ පිරිස තවත් සිටී දැයි පිරික්සීමටය. අහල පහළ කිසිවෙක් නොවුයෙන් ඔහු නැගණියගේ කාබරයේ වසා තිබු දොරට තට්ටු කළේය. ඒ වන තෙක් ඇදට වී සිටි යසවති පැමිණ දොර විවෘත කළේය.

“ මොකද ?” ඇය වෙනදා පරිදිම නෝක්කාඩුවට ඇසීය. නමුත් ඇස් රතු වී මුහුණ තඩිස්සි වී ඇති ආකාරයෙන් ඇය අඩා ඇති බව පොඩි දිසේට වැටහුණේය.

“ මොකෝ මේ වෙලා තියෙන්නේ.”

“ ඒ පාර ඔයත් ආවේ අම්මලා වගේ මට දොස් කියන්නද?” යැයි පවසමින් ඇය නැවත කාමරය තුලට ගියේය.  පොඩි දිසේද ඇය පසු පසින් කාමරයට ගියේය.

“ දොස් කියන්න නෙවේ, මොකක්ද මේ අම්මලා කියන හුටපටේ?” යැයි කාමරේ දොර උලුඅස්සට හේත්තු වූ පොඩි දිසේ ඇසිය.

“ අම්මලාට පිස්සු, පොඩි අයියා මොකෝ හදිසියේ ආවේ.”

“ පිස්සු නෙවේ, කියනවා මොකක්ද අර විජේ එක්ක තියනවා කියන පල හිලවුව.”

“ විජේ මාව බදින්න ඇහුවා.” ඇය ඇගට නොදැනෙන ලෙස කියා දැමිය.

“ ඉතින්...”

“ ඉතින් මම හා කිවුවා. විජේට කෙල්ලෝ හැමෝම කැමති.”

“ හැමෝම කැමති නිසාද එතකොට උඔ කැමති වුණේ?”

“ ඔය ඉතින් ඔයාත් අම්මලා වගේම තමා. මගේ කැමැත්ත කාටවත් වැඩක් නැහැ. ඔක්කොම කෙරෙන්නේ එයාලගේ කැමැත්තට.” යැයි යසවති ඉකි ගසා හඩන්නට විය.

“ මම බනින්න නෙවේ නංගි අහන්නේ. එක පාරම මෙහෙම තීරණයක් ගන්න හේතුව මොකක්ද කියලයි මට දැන ගන්න ඕන.” යසවතීව අස්වසනු පිණිස පොඩි දිසේ පැවසිය.

“ අම්මා නෙවේද අයියාව එවුවේ?”

“ නැහැ. අම්මා කුස්සියේ කෑම ලෑස්ති කරනවා.මම විජේව දන්නා නිසයි ලොකු අයියා මට එන්න කියලා තියෙන්නේ.”

“ අයියා විජේ හොදට දන්නවද?”

“ ඔව්, මිනිහා කාලයක් මං පොල්ගහවෙළ වැඩ කරද්දී එසේ නැවතිලා ඉදලා තියනවා.”

“ අනේ බාලයියා, ඔයාට බැරිද ලොකු අයියාව මේකට කැමති කරව ගන්න. එයාට කියන්නකෝ විජේ හොදයි කියලා.”

“ ඒ මොකටද මං එහෙම කියන්නේ?”

“ මට විජේ කසාද බදින්න ඕනෑ අයියා, විජේ මෙහෙ වැඩ කළ හැමදාම හවසට වැඩ ඉවර වෙලා ගගට නාන්න යනකොට බටගස් ලන්දෙදි අපි දෙන්නා මුණ ගැහුණා. එයා පොරොන්දු වුණා මාව කසාද බදින්න. මට විජේගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා.”

එය ඇසු පොඩි දිසේ හේත්තු වී සිටි උලුඅස්සෙන් කෙලින් වුයේ අකුණක් කැවෙකු සේය. ඔහුගේ ක්ෂණික වෙනස් වීම දුටු යසවතී නැවතත් කතා කිරීම ඇරබිය.

“ අයියා මේ වගක් කාටවත් කියන්නේ නැ කියලා මට දිවුරන්න, අම්මාටවත් ලොකු අයියාටවත් කියන්න එපා. ගම්මු දැන ගත්තොතින් මට නියගලා කන්න වෙයි.”

ඇය නැවතත් කොට්ටය බදාගෙන හඩන්නට විය.

“ බාලයියා දන්නවද විජේ ඉන්න තැනක්. මං එයාලයි ගෙදර ඇඩ්රස් එකට ලියුම් කඩදාසි කිහිපයක්ම දැම්මා. එත් විජේ ගෙදර නැහැ. එයාගේ පොඩි නංගි අනුලා මට කිවුවා කොහේදෝ හෝටලේක එයා දැන් වැඩලු. අනේ අයියාට බැරිද කොහොම හරි විජේ හොයාගන්න.”

“ හ්ම්, ඌ බේරුවල හෝටලේක ඉන්නේ. මම හෙට උදේම අයියත් එක්ක ගිහින් බලන්නම.”

“ එත් ලොකු අයියාට එහෙම කියන්න එපා අයියා. මට විසුමක් නැති වෙයි.”

“ මං ඕවා කාටවත් කියන්න යන් නැ.” යැයි පැවසු පොඩි දිසේ කාමරයෙන් පිටතට පැමිණියේය.

සිය මව මෙය දැන ගත්තේ නම් ඇය ලය පැලි මිය යනු ඇතැයි පොඩි දිසේට සිතිණි.

- මතු සම්භාන්ධයි -


No comments:

Post a Comment

තාත්තා

තාත්තා  දෙවන පරිච්ඡේදය   මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...