Friday, July 30, 2021

තාත්තා


තාත්තා 

දෙවන පරිච්ඡේදය



 මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය.


“ අනේ පොඩි පුතේ... උඔ දැන්ද ආවේ.”

“ ඔව් අම්මා, මොකද අයියට වෙලා තියෙන්නේ.”

සුසුමක් හෙළු ඈ, “ උඔ උදේට කාළාද ?” යැයි පොඩි දිසාගෙන් ඇසීය.

“ නැ. මං එහෙන් පාන්දර කෝච්චියේ ආවේ, ඒ වෙලාවට ගෙදර වැඩට ඉන්න මිනිහා අවිතුත් නැ.”

“  උඔ ඇදිලා ගිහින්, කොහෙද ඕකුන් හදන ඒවා කන්න පුළුවන් ඇති යැ ඉතින්. ඉදහන් උදේ පුච්චපු රොටියක් ඇති මං හනික රත් කරලා දෙන්න.” යැයි කියමින් තම පොඩි පුතු දෙස බැලු ඇය පපුවේ ඇවිළෙන දරු ස්නේහයෙන්ය.

පොඩි දිසේ රැකියාවට ගොස් දැනට වසර දහයක් පමණ ගතවී ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ සහයක මාර්ග පරීක්ෂක තනතුර සදහා රැකියාවට බැදී ඔහු ස්ථිර මාර්ග පරීක්ෂක විශේෂ පන්තිය දක්වා උසස් වීම් ලබා රජයේ නිල නිවසක් හා සේවකයෙක් ඔහුගේ පරිහරණය සදහා ලැබිය. පළමු ශ්‍රේණියේ රැකියාවක් වූ හෙයින් ඔහු ඉහළ වැටුප් හා වේතන ලැබිය. රැකියාවට බැදෙන විට ඔහු අවුරුදු දහනවයක් වූ තරුණ කොළු ගැටයෙක් විය. මේ වන විට ඔහු හැඩි දැඩි පිරිමියෙකු වුයේය. නමුත් කෙතරම් උසස් ජීවතයක් ඔහු ගෙවුවත් කොතරම් ඔහු හැඩි දැඩි වුවත් ටිකිරි මැණිකාට ඔහු තවමත් ඇයගේ පහසේ හැදී වැවුණු කුඩා කොළු ගැටයා විය. රැකියාවට යන තෙක් ඇයගේ සෙවණේ වූ පොඩි දිසේ මාස ගණන් ඇගෙන් ඈත්ව සිටීම නිසා ඔහු දුටු විට ඇගේ  මවු සෙනෙහස උතුරා ගලා යයි.

මව සාදා දුන් අහාර අනුභව කල පොඩි දිසේ ඇයගෙන් තුවායක් ඉල්ලාගෙන සහෝදරයා තමන්ට කියන්නට යන දේ කුමක්දැයි සිතමින් ඇල්ලට යෑමට කන්ද නගින්නට විය.

මැද ගෙදර පිහිටා තිබුණේ කරත්ත පාරට සමාන්තරව මීටර් පණහක් පමණ  උස් වූ කුඩා කදු බැවුමක තැන්නේය. ඊට එපිටින් විශාල කන්දක් විය. ගම්මුන් මැද ගෙදරට පසෙකින් වූ අඩි පාර දිගේ හරකුන්ට තණ කැපීමට හා දර ඇහිලිමට ඒ කන්ද තරණය කළේය. කදු මුදුණින් ඇරබෙන ජල උල්පතක් මැද ගෙදර සිට මීටර් සියයක පමණ දුරක් උඩට යන විට ඇති කදු ගැටයකින් කඩා හැලෙන කුඩා දිය ඇල්ලක් බවට පත් වෙයි. මැද ගෙදරට අයත් ඉඩමේ මේ ඇල්ල පිහිටි හෙයින් එකල ඔවුන් හා හිතවතුන් කිහිප දෙනෙකු හැර එහි යන කිසිවෙකු නොවිය. කුඩාවට කපන ලද පියගැට පෙළ දිගේ ඉහළට ගමන් කළ කරුණාරත්න වට පිටාව විපරම් කරමින් ඇල්ල දෙසට ගමන් කළේය. හිරු මද්දහනට ලං වුවත් තවමත් සීතලෙන් හා මද මිහිදුමෙන් තෙත්ව පවතී පරිසරය නිසා ඔහුට ඇල්ලට යාමට සිත් නොවිය. ඒ වකවානුවේ පොඩි දිසේ සේවය කරමින් සිටියේ පට්ටිපොළ දුම්රිය ස්ථානයේය. මොරගහන වැසි ඇද වැටෙන රාත්‍රියක දුම්රියක් පීලි පැන ඇතැයි යන පණිවුඩය ගෙන එන මුරකරු දකින විට ඒ ශීතල තෙතබරියාවට ඔහු වෛර කළේය. ඔහු ඇල්ලට ළගා වන විටත් ලොකු දිසේ එහි ගොස් සිටියේය. ඇල්ල අද්දර වූ ගලක් මතට වී පෙර කොට්ටක් හපමින් සිටි ඔහු වට පිට බලා පොඩි දිසේට එන්න යැයි අතින් සන් කළේය.

“ මල්ලි එනකොට තව කවුරුත් එනවා දැක්කාද?” ඔහු කරුණාරත්නගෙන් විමසුවේය.

“ ඔහේ නැ, ඇයි ?”

“ මෙව්වා කාටවත් ඇහෙන්න කතා කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ගෙදර කොයි වෙලාවේ බැලුවත් සෙනග නොවැ. එකයි මම උඔට මෙතෙන්ට එන්නය කිවුවේ නිස්පාසුවේ කතා කොරන්න.”

“ මොකක්ද ඔය හැටි වැදගත් කාරණාව ?”

“ හහ්හ්... උඔ නංගිව දැක්කාද? ඇවිත් මෙච්චර වෙලා ගියා උඔට නිකමටවත් හිතුනේ නැද්ද කෝ එකී කියලා?”

“ අහන්න දෙයක් තියනවා යැ, කොහේ හරි ගිහින් ඇති කෙල්ලෝ ටික එක්ක.”

“ එහෙම උනා නම් හොදා, එකී කාබරේට වෙලා බලා ගත්තු අත බලාන ඉන්නවා ලු. අම්මා මට ඊයේ උදේ ටැලිෆෝන් කරලා කිවුවේ. මාත් ආව ගමන් ගිහින් කතා කරලා බැලුවා. එකී මා එක්කත් කතා බහක් නැ.”

“ මොකක්? අර මක්ක වෙලාද ”

“ උඔ දන්නවා නේ මල්ලි මේ ටිකේ සති අන්තේ ගෙදර වැඩ ටික ඉවර කරන්න මම මෙහෙ ආව විත්තිය. ඉතින් මෙතන ගෙදර වැඩවලට උදවුවටය කියලා ගමේ හැම එකාම එන්න ගත්තා. උඔ දන්නවා නේ විජේ, එගොඩහා රණසිංහලාගේ ලොකු එකා.”

“ මේ අපේ අමරේගේ පංතියේ හිටපු විජේ?”

“ඔව් ඔව්. ඌ තමයි. ඌ ගිය සතියෙම ආවා වයරින් වැඩ කරන වෙලාවේ උදවුවට. නංගි අම්මාට කියලා තියනවා විජේව බදින්න ඕන කියලා. එවලේ අම්මා ඒකිට තරවටු කරලා. එදා ඉදන් එකී කෑමක් බිමක් නැතුව ඉන්නවා ලු. මං ඇහුවමත් කිවුවේ විජේව බදින්න ඕන කියලා විතරයි.”

“ අයියාට පිස්සුද, ඌ මහා නාහේට අහන එකේක්.”

“ එකනේ මාත් කිවුවේ, මෙකි වෙන එකෙක්ව කිවුවා නම් මේ දැන් වුණත් බන්දලා දෙන්න තිබ්බා. ඕකා මේ වැඩ අස්සේ හවසට අඩියක් එහෙම ගහනකොටත් සෙට් වුණා. මිනිහා හෙන තිරිසන් අදහස් තියන එකෙක්. මට වඩා මල්ලි දන්නවා ඇති නේ. උපාලි කිවුවා ඌ උඔ එක්ක රබුක්කන වැඩ කරද්දී නැවතිලා හිටියා කියලා.”

“ හ්ම්ම් ඔව්, ඌ කීප දොහකම ඇවිත් ඉදලා තියනවා ඌට වැඩක් නැති නිසා. මිනිහා නම් නංගිට ගැලපෙන්නේ නැ. නාහෙට අහන එකා. මිනිහාගේ පපුවේ කිසිම තෙතමනයක් නැ. උන්ගේ තාත්තාත් එහෙමයි මං දන්න විදියට.”

“ අම්මත් එකමයි කිවුවේ, කොහෙද මේකිට එක තේරුම් කරාට තේරෙන්නේ නැ නෙවැ. අනික ඕකුන් රදා... අඩු කුළේ පර හැත්ත...”

“ තුහ්හ්...” කියා කෙල පහරක් බිමට ගැසූ සෙනවිරත්න නැවත කතාව ඇරබුවේය.

“ උන්ට කවුද යකෝ ගෑණු දෙන්නේ... මේවා කලින් දන්නවා නම් ගෙවල් වලට වැද්දගන්නේ නැ බං මුන්ව.”

“ කුළේ නම් මොකෝ මනුස්සයා හොද නම්, එත් ඉතින් මේකා....” යැයි පොඩි දිසේ කීමට ආ දෙය ගිලගත්තේය.

" හ්හ්... කුළේ නම් මොකෝ...  අනේ උබේ අබුද්දස්ස කාලේ කතා... ඕවා අරකිට ඇහෙන්න එහෙම කියවා නෙවේ...  ගිහින් ටිකක් එකී එක්ක කතා කරලා බලපන්. එකී මටයි අම්මටයි දෙයක් කියන්නේ නැ තියන බය නිසා. එත් උඔ එක්ක එකී ඕනෑ දෙයක් කියනවා නේවැ”

“ හ්ම්ම්... බලමු. මම හෙමිහිට කතා කරලා බලන්නම්.”

“ හ්ම්ම්... බලමු, බැරි උනොත් ඒකිගේ කරුමේ තමයි. තාත්තා නැති වුණ දවසේ ඉදන් මං මට පුළුවන් දේවල් කරා ඒකිව හොදින් තියන්න” යැයි කියමින් ලොකු දිසේ නා ගැනීමට ඇල්ලට ඔලුව ඇල්ලුවේය.

පවුලේ බඩ පිස්සා වූ යසවතී පොඩි දිසේගේ හා ලොකු දිසේගේ නැගණිය විය. මුදියන්සේ මිය යන විට සේනාරත්න වයස අවුරුදු දොළහක් පමණ වූ කුඩා දරුවෙක් විය. දිනක් සවස් යාමයේ මුදියන්සේ වැඩ ඇරී නිවසට පැමිණෙන විට නිවාස පිටු පසින් විශාල කාලගෝට්ටියක් ඇසුණේය. නිවස පිටුපසට ගිය මුදියන්සේ දුටුවේ කොල්ලන් පිරිසක් පොරකමින් රණ්ඩු වන ආකාරයයි. ඒ අතර තම වැඩිමහල් පුත් බණ්ඩාර සිටිනු ඔහු දුටුවේය. මුදියන්සේ හා ටිකිරි මැණිකා විවහා වී වසර ගණනක් යන තෙක් දරු පල නොලැබීම නිසා හදාවඩා ගැනීමට ගත දරුවා බණ්ඩාර විය. කුඩා කල සිටම මහත් ආදරය සෙනහස මත වැදුණු බණ්ඩාර මුදියන්සේට හා ටිකිරි මැණිකාට දරුවන් ලැබුණු පසු මුරණ්ඩු දරදඩු දරුවෙක් විය. බණ්ඩාර තරුණ වියට පැමිණෙන විට ගමේ චණ්ඩි කැල හා එක් වීය. මත් පැන් වලට ඇබ්බැහි වූ බණ්ඩාර නිවසින් මුදල් ඉල්ලා නිතර ගැටුම් ඇති කර ගත්තේය. ගමේ චණ්ඩි සමග ඇති කරගත් ගැටුමක් නිසාවෙන් ඔවුන් ඔහු සොයා මැද ගෙදරට පැමිණ තිබුණේය. සිද්ධිය සමතයකට පත් කිරීම සදහා එහි ගිය මුදියන්සේ හා බණ්ඩාර අතර ඇති වූ බහින්බස් වීමක් දුර දිග ගියේය. මුදියන්සේ ගෘහ මුලිකයා වී සිටින තාක් තමාට අවශ්‍ය කරණා ඉටු කරගත නොහැකි නිසා එයින් ගැලවීමටත් මෙය සුදුසුම අවස්තාව යැයි සිතු බණ්ඩාර ගැටුමට ආ පිරිසට පහර දීමට ඔහු අත තබාගෙන සිටි කටු කම්බි පටලන ලද කිතුල් මුගුර මුදියන්සේට පිටුපා සිටි ඔහුගේ සගයෙකුට දිගු කොට මුදියන්සේට පහර දෙන ලෙස ඉගි කළේය. බණ්ඩාරගේ කීම මත මුදියන්සේගේ හිසට වැරෙන් පහර දුන්  කිතුල් මුගුරෙන් පහර කෑ මුදියන්සේ දෑතින් හිස බදාගෙන නිවස වෙත ආවේ ගතේ ඉතිරිව තිබු අවසන් ශක්තිය ද වැය කරමිනි. සිද්දිය කණ වැකි නිවසට ආ පිරිස් එක්කව මුදියන්සේ ඉස්පිරිතාලය රැගෙන යන අතර අධික ලේ වහනය නිසා මුදියන්සේ මිය ගියේය. බණ්ඩාර ඇතුළු ගැටුමට මුල් වූ තවත් තරුණයින් දෙදෙනෙක් ජීවිතාන්තය දක්වා සිපිරිගෙට නියම විය. එතැන් පටන් ටිකිරි මැණිකේ දස වද විද තම දරුවන් තිදෙනා උස්මහත් කළේය. පවුලේ වැඩිමලා වූ හෙයින් ලොකු දිසේ නිතරම සිය නැගණියට පියෙකු සේ ලෙන්ගතු විය. එම නිසාවෙන් ඈ හදිසියේ ගත් මේ තීරණය ඔහුගේ සීත පාරවන්නට විය.

ලොකු දිසේ හා පොඩි දිසේ එක්ව සවස් වරුවේ උපාලි හමුවීමට ගියේ මගදී දුන් කට වචනයටය. සියදෝරිස්ගේ මරණයෙන් පසු උපාලිගේ වැඩිමල් සහෝදරයන් සියලු දෙනා විවහා වී වෙනත් නිවෙස් වල පදිංචියට ගිය බැවින් තවම පෙලවහක් කරගෙන නැති උපාලි මව සමග මහගෙදර තනිව ජිවත් විය. මහගෙදරට පහළින් මහවැලි ගග ගලා බසින්නේය. ඔවුන් එක්ව ගගෙන් දිය නා කළුවර වැටෙන තෙක් උපාලි හා පුරාජේරු කියවමින් ඉද රැ කෑම වෙලාවට ආසන්නව නිවසට ආවේය.

ඔවුන් නිවස ආසන්නයට පැමිණෙන විට මැද ගෙදරට පැමිණි පිරිස් එකා දෙන්නා කරත්ත පාර දිගේ පිට වී යන අයුරු දැකගත හැකි විය. නිවසට ගොස් විවාහය පිළිබද කාරණය සිය නැගණිය හා කතා කිරීමට සිතා ගත් පොඩි දිසේ නිවසේ සිටි පිරිස නික්ම යන තෙක් මුළුතැන්ගෙට ගොස් සිටියේය. මුළුතැන්ගෙය තුළ ටිකිරි මැණිකා ලහි ලහියේ රාත්‍රී ආහාරයට ඉදි අප්ප සාදන්නීය. මුළු පවුලම බොහෝ කලකින් එකතු වීම නිසා ඇය ඉතා සතුටට පත්ව ඇති බව පොඩි දිසේට වැටහුණි. ඔවුන් කුඩා කළ පියා මිය ගිය පසු මව තනිව ටවුමේ සිට විශාල බඩු මලු කර තියාගෙන පා ගමනින්ම එන අකාරය ඔහුට මතක් විය. වෙල් යායේ ක්‍රිකට් ගසමින් සිටින කොලු රංචුවේ සිටින පොඩි දිසේ දිව ගොස් ඇගේ අතේ ඇති මල්ලක් උස්සාගෙන නිවාස දක්වා ගොස් නැවතත් කොලු නඩය හා එක්වීමට වෙල්යායට දිව යයි.  නමුත් ඇය වයස්ගත වන ආකාරය දුටු පොඩි දිසේට ඇය මෙලෙස වෙහෙස වී වැඩ කරණු දැකීම ඉවසිය නොහැකි විය.

“ අම්මා කොහොමද හැමදාම මෙහෙම වැඩ කරන්නේ. අපි වැඩට කෙනෙක් ගමු.”

“ අනේ පුතේ... මට මේවා හුරුයි. ඇරත් අපේ පරම්පරාවේ කවුරුත් උයන පිහන වැඩ වලට වැඩට කවදාවත් පිට ගැණු ගත්තේ නැ.”

“ ඒ ඒකාලේ නේ අම්මා. අනික අනිත් ගෙවල් වල ඕනෑ තරම් මිනිස්සු ඉන්නවා වැඩ කරන්න. මෙහෙ එහෙම කවුරුත් නැ නේවැ. මම අයියාට කියන්නම් වැඩට කෙනෙක් හොයන්නය කියලා.”
  
“ අනේ එපා පුතේ, මට මේවා තනියම කරන එක පහසුයි. අනික දැන් ඉතින් උඔයි අයියයි පෙළවහක් කරගත්තාහම ලේලියෙක් එයි නේවැ මගේ උදවුවට.” යැයි ටිකිරි මැණිකේ පොඩි දිසේ දෙස බලා සිනාසී පැවසීය. මවගේ වදනින් ලැජ්ජාවට පත් පොඩි දිසේ එතැනින් නැගිට ආවේ නිවසේ වූ පිරිස තවත් සිටී දැයි පිරික්සීමටය. අහල පහළ කිසිවෙක් නොවුයෙන් ඔහු නැගණියගේ කාබරයේ වසා තිබු දොරට තට්ටු කළේය. ඒ වන තෙක් ඇදට වී සිටි යසවති පැමිණ දොර විවෘත කළේය.

“ මොකද ?” ඇය වෙනදා පරිදිම නෝක්කාඩුවට ඇසීය. නමුත් ඇස් රතු වී මුහුණ තඩිස්සි වී ඇති ආකාරයෙන් ඇය අඩා ඇති බව පොඩි දිසේට වැටහුණේය.

“ මොකෝ මේ වෙලා තියෙන්නේ.”

“ ඒ පාර ඔයත් ආවේ අම්මලා වගේ මට දොස් කියන්නද?” යැයි පවසමින් ඇය නැවත කාමරය තුලට ගියේය.  පොඩි දිසේද ඇය පසු පසින් කාමරයට ගියේය.

“ දොස් කියන්න නෙවේ, මොකක්ද මේ අම්මලා කියන හුටපටේ?” යැයි කාමරේ දොර උලුඅස්සට හේත්තු වූ පොඩි දිසේ ඇසිය.

“ අම්මලාට පිස්සු, පොඩි අයියා මොකෝ හදිසියේ ආවේ.”

“ පිස්සු නෙවේ, කියනවා මොකක්ද අර විජේ එක්ක තියනවා කියන පල හිලවුව.”

“ විජේ මාව බදින්න ඇහුවා.” ඇය ඇගට නොදැනෙන ලෙස කියා දැමිය.

“ ඉතින්...”

“ ඉතින් මම හා කිවුවා. විජේට කෙල්ලෝ හැමෝම කැමති.”

“ හැමෝම කැමති නිසාද එතකොට උඔ කැමති වුණේ?”

“ ඔය ඉතින් ඔයාත් අම්මලා වගේම තමා. මගේ කැමැත්ත කාටවත් වැඩක් නැහැ. ඔක්කොම කෙරෙන්නේ එයාලගේ කැමැත්තට.” යැයි යසවති ඉකි ගසා හඩන්නට විය.

“ මම බනින්න නෙවේ නංගි අහන්නේ. එක පාරම මෙහෙම තීරණයක් ගන්න හේතුව මොකක්ද කියලයි මට දැන ගන්න ඕන.” යසවතීව අස්වසනු පිණිස පොඩි දිසේ පැවසිය.

“ අම්මා නෙවේද අයියාව එවුවේ?”

“ නැහැ. අම්මා කුස්සියේ කෑම ලෑස්ති කරනවා.මම විජේව දන්නා නිසයි ලොකු අයියා මට එන්න කියලා තියෙන්නේ.”

“ අයියා විජේ හොදට දන්නවද?”

“ ඔව්, මිනිහා කාලයක් මං පොල්ගහවෙළ වැඩ කරද්දී එසේ නැවතිලා ඉදලා තියනවා.”

“ අනේ බාලයියා, ඔයාට බැරිද ලොකු අයියාව මේකට කැමති කරව ගන්න. එයාට කියන්නකෝ විජේ හොදයි කියලා.”

“ ඒ මොකටද මං එහෙම කියන්නේ?”

“ මට විජේ කසාද බදින්න ඕනෑ අයියා, විජේ මෙහෙ වැඩ කළ හැමදාම හවසට වැඩ ඉවර වෙලා ගගට නාන්න යනකොට බටගස් ලන්දෙදි අපි දෙන්නා මුණ ගැහුණා. එයා පොරොන්දු වුණා මාව කසාද බදින්න. මට විජේගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා.”

එය ඇසු පොඩි දිසේ හේත්තු වී සිටි උලුඅස්සෙන් කෙලින් වුයේ අකුණක් කැවෙකු සේය. ඔහුගේ ක්ෂණික වෙනස් වීම දුටු යසවතී නැවතත් කතා කිරීම ඇරබිය.

“ අයියා මේ වගක් කාටවත් කියන්නේ නැ කියලා මට දිවුරන්න, අම්මාටවත් ලොකු අයියාටවත් කියන්න එපා. ගම්මු දැන ගත්තොතින් මට නියගලා කන්න වෙයි.”

ඇය නැවතත් කොට්ටය බදාගෙන හඩන්නට විය.

“ බාලයියා දන්නවද විජේ ඉන්න තැනක්. මං එයාලයි ගෙදර ඇඩ්රස් එකට ලියුම් කඩදාසි කිහිපයක්ම දැම්මා. එත් විජේ ගෙදර නැහැ. එයාගේ පොඩි නංගි අනුලා මට කිවුවා කොහේදෝ හෝටලේක එයා දැන් වැඩලු. අනේ අයියාට බැරිද කොහොම හරි විජේ හොයාගන්න.”

“ හ්ම්, ඌ බේරුවල හෝටලේක ඉන්නේ. මම හෙට උදේම අයියත් එක්ක ගිහින් බලන්නම.”

“ එත් ලොකු අයියාට එහෙම කියන්න එපා අයියා. මට විසුමක් නැති වෙයි.”

“ මං ඕවා කාටවත් කියන්න යන් නැ.” යැයි පැවසු පොඩි දිසේ කාමරයෙන් පිටතට පැමිණියේය.

සිය මව මෙය දැන ගත්තේ නම් ඇය ලය පැලි මිය යනු ඇතැයි පොඩි දිසේට සිතිණි.

- මතු සම්භාන්ධයි -


Thursday, July 22, 2021

තාත්තා





තාත්තා 


පළමු පරිච්ඡේදය



මිහිදුම අතරින් විනිවිද වැටෙන උදැසන හිරු කිරණ යන්තමින් පීදීගෙන එන බන්ඩි ගොයම් කරල් වල වැදීමෙන් හාත්පසම රන් පැහැයක් ගත්තේය. ගොයම් ගස් උඩට හිරු එළිය වැටිමෙන් දිප්තිමතව බබළන පිණිබිංදු සීතලට තම නිරුවත් කකුල් වල දැවටිම ගමේ කිසිම අද ගොවියෙකුට සුවිශේෂ දෙයක් වුයේ නැත. තුන්සිය හැටපස් දවසේම වැස්ස නැතත් සීත මිදුම එක්ක මල් තුහින වැටෙන මේ දියසිරාවට ඔවුන් හුරුවී සිටියේය. කරත්ත පාරෙන් එපිට ඇති වෙල්යායට කුකුලත් අතින් අරන් උදැල්ල කර තියාන යන සියදෝරිස් පින්නේ තෙමි තෙමි මිදුලේ වැලි පිට්ටු හදන පොඩි දිසේ දැක " ආහ්හ්... හිච්චි කොල්ලෝ " යැයි ඔහුගේ පැල් කවි කියා ගොරහැඩි වූ කටහඩින් මහා හයියෙන් කෑ ගසයි. වැලි පිට්ටු හැදීම මදකට නතර කරන පොඩි දිසේ ඔහු දෙස හිස ඔසවා බලන මුත් කෙදිනකවත් ඔහුට නැවත පිළිතුරු දීමක් කර නැත. නමුත් කරුණාරත්න ඉතා කුඩා කළ නිර්වස්ත්‍රව මිදුලේ සෙල්ලම් කරන දවස් වල පටන් සැම දිනකම එතනින් යන විට සියදොරීස් එලෙස ඔහු අමතයි. අවසානයේ "මුන්ට කාලා තෙලේ වැඩිවෙලා, උදැහැනක්ම පින්නේ නටන්න ගියා" යැයි බැනවදිමින් ඔහුගේ මව ටිකිරි මැණිකේ ඇය ඇදසිටින දුම් වැදී අදුරු පැහැ වූ චිත්තයෙන් පොඩි දිසේගේ හිස පිසදමණු කුබුරේ කැඩුණු වක්කඩක් සකසණු හෝ වතුර පහරක් වෙනස් කරමින් සිටින සියදෝරිස් දකියි. දිසානායක මුදියන්සේගේ දරුවන් තිදෙනා අතරින් මද්දුමයා කරුණාරත්න විය.වැඩිමහල් පුතු සෙනවිරත්න වූ අතර ගමේ කොයි කවුරුත් ඔවුන් හැදින් වුයේ පොඩි දිසා හා ලොකු දිසා යනුවෙනි.

වයස අවුරුදු හතළිහක් හෝ ඊට වැඩි සියදෝරිස් මැද ගෙදරට නිතර යනඑන පුද්ගලයෙකු විය
. මුදියන්සේගේ නිවසට සවස් කාලයේ ගමේ සියලු දෙනා එක් රොක් වන නිසාවෙන් හා සමස්ථයක් ලෙස ගත කල එය සියලු නිවාස අතර මැදින් කේන්ද්‍රගතව පිහිටි නිසාත් එය මැද ගෙදර ලෙස හැදින්විය. ඉර බැස යාමත් සමග කුබුරු වැඩ නිමා වූ පසු කළුවර වැටෙන යාමයේ හුළු පන්දමක් ද රැගෙන මැද ගෙදරට පැමිණෙන ඔහු පොඩි දිසාගේ සම වයසේ පසුවන ඔහුගේ බාල දරුවා ද ඔහු හා කැටිව පැමිණෙයි. සියදෝරිස් සමග පැමිණෙන උපලි හා පොඩි දිසේ එක්ව කළුවරේම ගොස් වේල්යායට එපිටින් එරබදු ගස් වල ගැට ගසා සිටින ගවයින් ඌන් බැද සිටින රැහැනින් ලෙහා පන්නා දමයි. රාත්‍රිය පුරාවටම කිසිවෙකුගේ ඇස නොගැටෙන මේ ගවයින් ගමේ අස්සක් මුල්ලක් නෑර ඇති වගා හානි කරමින් අවසානයේ සරු අස්වැන්නක් ගැනීමට ඔන්න මෙන්න තිබු කුබුරක ගොයම් ගස් තලාගෙන ඒවා උඩ හතර ගාතයෙන් වැතිර වමාරා කමින් සිටිනු උදැසන වන විට දැක ගත හැක.  උදැසන පාසල් යැමට කරත්ත පාර පැන වෙල්යාය අයිනෙන් වැටි ඇති රේල් පාරේන් ගමන් කරන විට හරකුන්ගේ අයිතිකරුවන් මේ නොසන්ඩාල ක්‍රියාව කළ උන්ගේ අමමා අප්පා මතක් කරමින් තිත්ත කුණුහරුපයෙන් බැන වදිමින් නැවත හරක් ගාල් කිරීමට රැගෙන යන අයුරු දකින විට සිනාසෙන කොළු රැල දැක හරක් අම්බාන් කිරීමට ගත් කෙවිට උන් දෙසට උලුක් කර ඔවුන්ට පරුෂ වචනයෙන් බැන වදින්නේය.

අදටත් පාරේ බස් රියේ ගමන් කිරීමට කැමැත්තක් නොදැක්වූ පොඩි දිසා නිවාඩුවට නිවසට පැමිණෙන විට නාවලපිටිය දුම්රිය ස්ථානයේන් දුම්රියෙන් බැස මැද ගෙදරට වූ යාර සියයක් පමණ වූ කෙටි දුර ගෙවාගෙන රේල් පාර දිගේ පා ගමනින්ම නිවසට පැමිණෙන විට ඔහුගේ සීත අතීත මතකයන්ගෙන් පිරි යයි. කුඩා කල පාසල් ඇරී පොඩි දිසේත් උපාලිත් අනෙකුත් කොලු රැළ සමග නිවසට පැමිණෙන්නේ මේ රේල්පාරෙන්මය. එදා මෙන්ම නාස් පොලු කඩාගෙන යන ඒ සිල්පර කොට සුවදට ඔහු තවම ආශා කළේය. ඒ එන මග දිගට පාර අයිනේ හා නිවෙස් වල ඇති අඔ ගස් පෙර ගස් සියල්ලන්ගේම අවසානයේ ගැටයක්වත් නොමැති වන ගානට ඔවුන් ඒවා සුරා කා ඇත. වැසි දින වලදී ඔවුන් සියලු දෙනාට වැසි කුඩ නැති නිසාවෙන් පාසල් අහවර වන විට වර්ෂාව ඇද වැටුනොත් කොල්ලන් සියලු දෙනා පැමිණෙන්නේ තෙත බරිතවය. එවිට දුම්රිය ස්ථානයට මදක් ඔබ්බෙන් ඇති දුම්රිය සංඥා කුටියේ ඇති ගල් අගුරු පෝරණුව අසලට ගොස් සියලු දෙනාම ඇගවල් වෙලා ගනී.      ප්‍රදේශයේ නිතරම වර්ෂාව නැතත් හීනි පොදයක් හෝ අනිවාර්ය වූ නිසා දුම්රිය සංඥා කුටියේ වැඩ කරන ඇල්බට් මාමාට ඔවුන් කිසි දිනෙක ආගන්තුක දසුනක් නොවිය. බොහෝ දාට දහවල් පාසල් ඇරී ළමුන් එහි යන විට ඔහු දවල් බත් පත අනුභව කරමින් සිටි.

"උඔලට බඩගිනිද " යැයි ඔහු කොළු රැලගෙන් අසයි
. එකෙක් දෙන්නෙක් නැත යන්න අදහස් කිරීමට හිස සෙලවුවද බඩජහරි කොල්ලන් වැඩි පිරිස බඩගිනි යැයි එක හඩින් කෑගසයි.

"ආ... මේක යන ගමන් කාපල්ලා." කියමින් ඔහු නිවසින් ගෙන ආ කැවිලි වර්ගයක් හෝ කුඩා ජැම් පේර මල්ලක් ඔවුන් අත තබයි.

ඇල්බට් මාමා ලෙස සියළු දෙනා හැදින්වූ ඔහුගේ වයස අවුරුදු පනහකට ආසන්න විය
. ඔහු උසට සරිලන මහතකින් යුතු වයස්ගත පුද්ගලයෙකු විය. සැම විටකම පාහේ සංඥා කුටියට නගින පඩි පේළ මුදුණේ හිද සිටින ඔහු ඔහුගේ අළු පැහැයට හුරු රැවුල අතින් පිරිමදින් කල්පනා බරව හෝ නැති නම් ඔහුගේ දුම් පයිපය උරමින් අහසට දුම් වළාවන් පිබිමින් හෝ කාලය ගත කරයි. අප එහි සිටින විට හදිසියේ ඔහුට දුම්රිය ස්ථානයට යාමට සිදුවූ ඇතැම් අවස්ථාවන්හිදී ඔහු අතැති දුම් පයිප්පය අසල වූ මේසය මත තබා යයි. අප රැලේ සිටින ආණ්ඩපාලම කොල්ලා වූ සුදා එය ගෙන මුවෙන් තබා ආඩම්බරයෙන් දුම් උරන්නා සේ රගපාමින් කොල්ලන් හිනස්සන්නේය. නමුත් වැරදීමකින් හෝ දුම් උගුරක් මුවට ගිය විට ඔහු කුටිය දෙවනත් වෙන්න කහිමින් එතැනින් පැන දුවයි. බොහෝ දින වලදි පොඩි දිසේ පාසැල් ඇරී එතැනින් යන විට සිල්පර කොට උඩ කෙටි අඩි තබමින් ඉතා වේගයෙන් ඇල්බට් මාමාගේ බිරිද ඔහුට දිවා බත් පත රැගෙන එන අයුරු දැක ගත හැකි විය. බත් පත ඔහු අතට දෙන ඇය ඒ ආවාටත් වඩා වේගයෙන් දුම්රිය කම්කරුවන්ගේ නිවාස ඇති ලයිම් පේලිය වෙත දිවගොස් නොපෙනී යයි. ලයිම් පේලියේ දකුණු කෙලවරේ නිවසට ඇය ඇතුළු වනවා ඔහු කීප වරක්ම දැක ඇත. ඇල්බට් මාමා කිසිම දිනක තම දරුවෙක් ගැන වචනයක්වත් කියා නොමැති හෙයින් ඔහුට දරුවන් නැතැයි පොඩි දිසේ කුඩා කල සිතුවේය. නමුත් මිට වසර කිහිපයකට පෙර හෘද රෝගයකින් ඇල්බට් මාමා මියගිය විට ඔහුගේ අවමගුලට සහභාගී වූ අවස්ථාවේ තරමක් තරුණ විය ඉක්මු කාන්තාවක් ඔහුගේ දියණිය ලෙස කීපදෙනෙකු පවසනු පොඩි දිසේට මතකය. පසුව දැනගන්නට ලැබුනේ ඇය විවහා වී වෙනත් නගරයක පදිංචියට යාමෙන් ඇති වූ සිත් තැවුලෙන් ඇල්බට් මාමා අසනීප වූ බවය.

"පොඩි දිසේ.... " යැයි කිසිවෙකු පවසන හඩින් ඔහු අතීත මතකයන්ගෙන් මිදී පියවි ලොවට පිවිසියේය.

"පොඩි දිසාට කවුද ගමට එන්න පාර කිවුවේ..." යැයි උපාලි සිනාමුසු මුහුණෙන් ඇසිය. රැකියාවකට නොගොස් පියාගෙන් ආ කුබුර වපුරමින් ගමට වී කාලය ගත කරන උපාලි කිසි ලෙසකින්වත් වෙනස් වී නැත. පෙර පරිදිම සරමක් කැසපට ගසා සිටින ඔහු නිරුවත් උඩුකය වැසෙන සේ එක් බොත්තමක් පමණක් පියවා කමිසයක් ඇද සිටියේය. කුබුරු වැඩ කිරීම නිසා ඔහුගේ කෙසග සිරුර දැන් හැඩි දැඩිවී ඇත. අන් අයට වන හිරිහැර වලට එරෙහිව නිතර ගමේ චණ්ඩි සමග ගැටුම් අති කරගත් ඔහු එයින් ලැබූ පිහි පහරක කැළලක් තවමත් ඔහුගේ නිකටේ ශේෂව ඇත. මේ කැළල නිසා උපාලි දුටු වනම කෙනෙකුට සිතෙනුයේ ඔහු ගමේ මැර නායකයා විය හැකි බවය.

"කොහෙද වැඩ, එන්න වෙලාවක් තිවූණේ නැ. ඊයේ රැ අයියා හදිසියේම ටැලිෆෝන් පණිවිඩයක් දුන්නා විගහට ගෙදර එන්නය කියලා. උඔ ඒ පැත්තේ ගියේ නැද්ද? අම්මට අසනීපයක්වත් ද කියලා මං මේ තකහනියක් ඇවිත් යන්න ආවේ."

"මොන... වෙන්ඩ බැහැ
. මට මැණිකේ නැන්දව අද උදෑහැන එගොඩහා කඩමණ්ඩියේදීත් මුණගැහුණා. උන්දැ ඔය යස අගේට හිටියේ. ලොකු දිසාත් ගමට ආවේ ඊයේ මයේ හිතේ." යැයි උපාලි කිවේය.

"හ්ම්, අයියා හිත හොදින් නෙවෙයි කතා කරේ. මම ගිහින්ම බලලා එන්නම්කෝ. හවසට ගගට යමු."

"ආහ්හ්... වරෙන් වරෙන් අපි නම් ඉතින් තාමත් මඩේන් ගොඩ ආ ගමන් නාන්න යන්නේ ගගට තමයි මහත්තයෝ... " යැයි හඩනගා සිනා සී පැවසු උපාලි රේල් පාරෙන් කුබුරට බැස නියරක් දිගේ ඇතට නොපෙනී යනු ඔහු බලා සිටියේය
.

පොඩි දිසේ රැකියාව ගිය අලුත සිට ගමේ මිතුරන් රජයෙන් ඔහු හට ලබා දි තිබු නිල නිවසේ නැවතී විවේක කාලය ගත කිරීමට ඉදහිට පැමිණෙයි
. උපාලි වරක් එලෙස පැමිණි විට සේවකයින් පොඩි දිසේට මහත්තයා යැයි පැවසීම උපහාසාත්මක ලෙස බලා සිටි උපාලි එතැන් පටන් සැම විටකම පාහේ මහත්තයා යැයි කියමින් ඔහුව උපහාසයට ලක් කරයි. සියදෝරිස්  මියගියේ උපාලි ඉතා කුඩා කාලයේදීය. ඔහුගේ පිටෙහි අතක සලකුණ නිල් පැහෙයෙන් සටහන්ව තිබු නිසාවෙන් යකෙක් ගසා ඔහු මළ බව ගැමියන් එකල කීවද සාමාන්‍ය පෙළට විද්‍යා විෂය ඉගෙනීමේදී එය හෘදයා භාදයක් නිසාවෙන් හට ගත්තක් බව පොඩි දිසේ වටහගත්තේය. නමුත් එක් දිනක් පාසල් ගමන මගදී අත් හල උපාලිට ඔහු ඒ පිළිබද පැහැදිලි කිරීමට තැත් කල අවස්ථාවේදී "ඔය මොනවා උනාම මොකෝ... තාත්තා මලා නෙවැ" යැයි කියමින් ඔහු සිනා සි ඉවත බලා ගත්තේය. ඔහුගේ සීත පැරේවි යැයි සිතු පොඩි දිසේ ඉන්පසු ඒ පිළිබද ඔහුට ඒ පිළිබදව පැවසීමට නොගියේය.

නිවසේ ගේට්ටුවෙන් ඇතුල් වන විට ඔහුගේ වැඩිමල් සහෝදරයා සෙනවිරත්න බරාදයට හේත්තු වී පාර දෙස බලා සිටිනු පොඩි දිසේ දුටුවේය. උපාලි පැවසු පරිදි අම්මාත් අසනීප නැති නම් ඔහු මෙලෙස රාජකාරි අතරතුර හදිසියේ නිවසට පැමිණීමට පවසන්නේ කුමක් නිසාද යන්න පොඩි දිසාට මහත් ගැටළුවක් විය. මාස දෙකකට වැඩි කාලයක් නිවසට නොපැමිණි ඔහුට වටපිටාවේ කිසියම් නුපුරුදු බවක් දැනිණි. ඒ නිවසට අලුතින් තීන්ත අලේප කර ඇති නිසා බව ඔහුට වැටහී ගියේය. සිවිල් මාර්ග ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කරන ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන සෙනවිරත්න අත ඉතා විශාල මුදලක් ඒ දින වල අතමිට ගැවසිනි. ඔහු ඒ මුදල් වියදම් කර පරණ මහගෙදරට නව පන්නයට අලුතින් කැල්ලක් එක් කර නිවාස වඩාත් විශාල කරන ලදි. අවසානයේ එය ගමේ ඇති විශාලම නිවස බවට පත් විය. ගමට ප්‍රථම වරට කළුසුදු රුපවාහිනි යන්ත්‍රයක් ගෙන ආවේ ද සෙනවිරත්නය.  එබැවින් කළුවර වැටෙන යාමයට ගමේ සියලු දෙනා එහි රූප බැලීමට මැද ගෙදරට රැස් වන්නට විය. ඔහු ගමට පැමිණෙන සැම අවස්තාවකදීම ඔහුගේ මිතුරන් රංචුව මැද නිවසට රැස් වී කාබී ප්‍රීති වෙයි. ඉතා කෙළිලොල් ජිවිතයක් ගත කල ඔහු මෙලෙස කල්පනා බරව සිටිනු කිසිවෙකු මින් පෙර දැක නොමැති විය. ගේට්ටුව අරින විට පොඩි දිසේ දුටු ඔහු බරාදයෙන් මැත්ව මිදුලට පැමිණියේය.

" මල්ලි වෙලපහ ආ එක හොදයි." යැයි මුහුණට මද සිනාවක් නගා ගනිමින් ඔහු පැවසිය.

" අයියා මොකෝ හදිසියේම එන්නය කිවුවේ? "

" මහන්සිත් ඇති නේ
. තුවායක් අරන් වරෙන් උඩහා ඇල්ලට යමු ඇගපත හෝදගන්න " යැයි බැරෑරුම් කතාවකට මුලපිරීමට සැරසෙමින් ඔහු කිවේය.

" හ්ම්ම්
... කෝ අම්මා " යැයි අසමින් පොඩි දිසේ නිවස තුළට ගියේය.

“ ඔය කුස්සියේ හිටියේ ” යැයි හඩනගා කියමින් සේනාරත්න නිවස පහළ වූ කරත්ත පාර අද්දර වූ තේ කඩය දෙසට පියමැන්නේය. 


- මතු සම්භන්ධයි - 

තාත්තා

තාත්තා  දෙවන පරිච්ඡේදය   මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...