Thursday, June 13, 2019

කොහොමද මම අවුරුද්දකට රුපියල් දෙලක්ෂ හැත්තෑහත්දහසක් (රු.277,000/=) ඉතුරු කළේ?


කොහොමද මම අවුරුද්දකට රුපියල් දෙලක්ෂ හැත්තෑහත්දහසක් (රු.277,000/=) ඉතුරු කළේ? 

මුදල් වියදම් කරන එක ගොඩක් පහසුයි වගේම තමයි මුදල් ඉතිරි කරන එක ගොඩක් අමාරුයි. නමුත් මිනිමලිස්ට් ජිවන රටාවට හැඩ ගැහෙනකොට ඔයාට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා මේ අමාරු මුදල් ඉතිරි කිරීම ටිකක් පහසු කරගන්න. ඔයා මිනිමලිස්ට් කෙනෙක් උනත්, මිනිමලිස්ට් කෙනෙක් වෙන්න උත්සහ කරන හෝ නැත්නම් මිනිමලිස්ට් ක්‍රමය බැහැර කරන කෙනෙක් උනත් මේ දේවල් අනිවාර්යෙන්ම ඔයාගේ ජිවිතයට වැදගත් වෙයි.

මුදල් ඉතිරි කිරීමට මම යොදාගත් මිනිමලිස්ට් ජිවන රටාවේ ක්‍රම තමයි අද මේ ලිපියෙන් මම කතා කරන්න යන්නේ. නමුත් එක දෙයක් අනිවාර්යෙන්ම කියන්න ඕන, මේක අපි එක් එක්අයගේ ජිවන රටාව හා අදායම එක්ක වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ ක්‍රම කිහිපය අනිවාර්යෙන්ම ඔයාට වෙනදාට වැඩියෙන් ඉතිරි කරන්න හා අනවශ්‍ය වියදම් අඩු කරලා අරපිරිමැස්මෙන් ජිවත් වෙන්න උදවු වේවි.

1. පළවෙනි දේ තමයි මම පිටින් කෑම ගන්න එක අඩු කළා. 

පිටින් කෑම ගන්න එක එහෙමත් නැත්තම් අපේ භාෂාවෙන් කිවුවොත් කඩ කෑම කන එක මම ගොඩක් අඩු කළා. මිනිමලිස්ට් කෙනෙක් වෙන්න කලින් මම අඩුමගානේ සතියකට සැරයක් වත් රෑ කෑම කඩෙන් කන්න පුරුදු වෙලා හිටියා. කොත්තු, ෆයිඩ් රයිස්, නුඩ්ල්ස් වගේ දේවල් වගේම පොඩි බඩගින්නට රෝල්ස්, වඩේ, බනිස්, ආප්ප වගේ දේවල් හැමදාම වගේ කන්න පුරුදු වෙලා හිටියා. ඉතින් මේ දේවල් අපි හිතන්නේ නැහැ ලොකු වියදම් කියලා මොකද එක දවසකට වියදම් වෙන ගාන අඩු නිසා. නමුත් දවස ගානේ මාසයක් ඊට පස්සේ අවුරුද්දක් යන මුදල ගණන් හදලා බැලුවොත් ඔයාලට තේරෙයි කොයි තරම් මුදල් අපි මේ දේවල් වලට වියදම් කරනවද කියලා. 

සාමාන්‍ය කඩේක රයිස්, කොත්තු වගේ දේවල් වල මිල ආසන්න වශයෙන් රු.300ක් විතර වෙනවා. ඉතින් අපේ ගෙදර 4දෙනෙක් ඉන්නවා නම් රයිස් 4ක් ගත්තාම මිල රු.1200ක් වෙනවා. සතියකට රු.1200 ගානේ මාසෙකට රු.4800ක් වෙනවා මම පිටින් කෑම කන්න කරන වියදම.  එතකොට අවුරුද්දට මම රු.57,600ක් වියදම් කරලා තියෙනවා එකට විතරක්. ඊට අමතරව මම කිවුවා හවසට නැත්තම් උදේ 10ට 11ට වගේ මම පොඩි බඩගින්නට මොනවා හරි දෙයක් කනවා කියලා. එකටත් දවසට රු.100ක් වගේ වියදම් වෙනවා. එතකොට මාසෙට වියදම අඩුම රු.3000ක්, අවුරුද්දට රු.36000ක්. හිතනකොටත් පුදුමයි නේද? ඔව් ඔයාත් මේ වගේම ගානක් නැත්නම් මීටත් වඩා වැඩි ගානක් මේ වගේ දේවල් වලට වියදම් කරනවා. 

නමුත් මම කියන්නේ නැහැ මේ දේවල් සම්පුර්නෙන්ම නවත්වන්න කියලා. මොකද මේ දේවල් වලට අපි හැමෝම ආසයි නේ. ඒ නිසා මේ වගේ දේවල් සම්පුර්නෙන්ම නවත්වන්න ටිකක් අපහසු වෙන්න පුළුවන්. එත් මේ වගේ පුරුදු වලින් ඈත් වෙන තරමට එක ඔයාගේ පර්ස් එකට විතරක් නෙවෙයි ඔයාගේ ශරීර සෞඛ්‍යයටත් ගොඩාක් හොදයි. සතියකට සැරයක් ඒ කියන්නේ මාසෙකට 4සැරයක් පිටින් කෑම ගත්ත මම දැන් මාසෙකට දවසක් විතරයි පිටින් කෑම ගන්නේ. ඒ වගේම පොඩි බඩගින්නට ගෙදර හදාගන්න දෙයක් නැත්තම් පලතුරු මොනවා හරි වගේ දෙයක් තමයි මම කන්නේ. මොකද සල්ලි ඉතුරු කරනවා කියලා නොකා නොබී බඩගින්නේ ඉන්න බැහැ නේ නේද?

ඉතින් මේ ක්‍රමයට මම අවුරුද්දට රු.67,000ක් ඉතුරු කරගෙන තියෙනවා. 

2. අංක දෙක තමයි මම තව දුරටත් පොත්/පත්තර සගරා මිලදී ගන්නේ නැහැ.

පුද්ගලිකව මම ගොඩක් පොත්පත් කියවන කෙනෙක්. ඒ නිසාම මම හැම මාසේකම පොත් මිලදී ගන්න මම රු.2000ක් වෙන් කරනවා. නමුත් ඇත්තෙන්ම බැලුවොත් පොත්පත් වෙනුවෙන් කල වියදම ගැන මගේ කිසිම පසුතැවීමක් නැහැ. මොකද එයින් ලැබෙන දැනුම මුදලට සම කරන්න බැරි නිසා. නමුත් මම මිනිමලිස්ට් කෙනෙක් වුණාට පස්සේ පුස්තකාලය බැදිලා පොත් ගන්න පටන් ගත්තා වගේම පත්තර, සගරා හා පොත් අන්තර්ජාල ඔස්සේත් පරිහරණය කළා. ඉතින් මේ වගේ ක්‍රම තියාගෙන පොත්පත් මිලට ගන්න මුදල් වියදම් කිරීම අනවශ්‍ය දෙයක් කියලයි මම හිතන්නේ. නමුත් මට අත්‍යාවශ්‍යයම පොතක් හෝ සගරාවක් පුස්තකාලයේ හෝ අන්තර්ජාලයේ හෝ හොයාගන්න නැත්නම් මම ඒ දේ මිලදී ගන්නවා. ඉතින් මේ ක්‍රමය නිසා අවුරුද්දකට රු.12000ක් ඉතුරු කරගන්න මට පුළුවන් වුණා.

3.අංක තුන තමයි බෝතල් කරන ලද බිම වර්ග හා පානීය ජලය මිලට නොගැනීම.

මිනිමලිස්ට් කෙනෙක් වෙන්න කලින් මම ගමනක් යනකොට කවදාවත් වතුර බෝතලයක් අරගෙන ගියේ නැහැ. ඉතින් අතරමගදී තිබහා වෙනකොට එක එක වර්ගයේ බිම වර්ග නැත්තම් කූල් වතුර බෝතල් වගේ දේවල් මිලට ගන්න මම පුරුදු වෙලා හිටියා. නමුත් මම තවදුරටත් මේ දේවල් මිලට ගන්නේ නැහැ. මම ගෙදරින් පිටට යනවා නම් අනිවාර්යෙන්ම වතුර බෝතලයක් මගේ බෑග් එකේ දාගෙන යනවා. මේකත් ඇත්තටම ඔයාගේ පර්ස් එකට විතරක් නෙවෙයි සෞඛ්‍යයටත් හොද පුරුද්දක්. ඉතින් මේ නිසා මාසෙට මට රු.2500 ගානේ අවුරුද්දකට රු.30,000ක් ඉතුරු කරගන්න පුළුවන් වුණා.

4. අංක හතර තමයි භාණ්ඩ අලෙවි කරන වෙබ් අඩවි, ෆේස්බුක් පිටු වැනි දේ වලින් ඈත් වීම. 

ඇත්තටම මේක අපි හැමෝම නොදැනුවත්ව කරන දෙයක්. අපි භාණ්ඩ අලෙවි කරන වෙබ් සයිට් වල රේගිස්ටර් වුනාම නැත්තම් භාණ්ඩ අලෙවි කරන ෆේස්බුක් පිටු වලට ලයික් කලාම එයාලගේ අලුත් දේවල් වල අප්ඩේට්ස් අපිට නිතරම ලැබෙනවා වගේම භාණ්ඩ මිල අඩු කිරීම, 30% මිල අඩු කළා නැත්තම් 50% අඩු කළා, එහෙමත් නැත්නම් දෙකක් ගත්තාම එකක් නොමිලේ වගේ සුක්ෂම වෙළද උපක්‍රම නිතරම අපිට දකින්න පුළුවන්. ඉතින් මේවා දැක්ක සැනින් අපිට මේ දේවල් අත්‍යාවශ්‍ය නොවුනත් අපි මේ දේවල් ගන්න නිරායාසයෙන්ම පෙලෙබෙනවා. නමුත් අපි කලින් ලිපියේදී කතා කළා වගේ මිනිමලිස්ට් කෙනෙක් මිලට ගන්නේ තමන්ට අත්‍යාවශ්‍යම දේවල් විතරයි. ඒ නිසා මම මේ භාණ්ඩ අලෙවි කරන වෙබ්අඩවි හා ෆේස්බුක් පිටු අන්ෆලොව් කරනවා. ඉතින් මේ ක්‍රමය නිසා මට අඩුම මාසෙට රු.3000 ගානේ අවුරුද්දට රු.36000ක් ඉතුරු කර ගන්න පුළුවන් වුණා.

5. අංක පහ තමයි ඇදුම් පැළදුම් මිලට ගැනීම සීමා කිරීම.

මිනිමලිස්ට් කෙනෙක් වෙන්න කලින් මම මාසෙකට අඩුම ගානේ එක ඇදුමක්වත් මිලට ගන්න පුරුදු වෙලා හිටියා. ඒ වගේම වෙලදපොලේ ලස්සන හෑන්ඩ් බෑග් එකක් නැත්තම් පර්ස් එකක් සපත්තු දෙකක් දැක්කොත් ඒ දේ මිලට ගන්න පුරුද්දක් මට තිබුණා. මේ මිලට ගත්ත බොහෝ දේවල් එකපාරක් දෙපාරක් ඇදලා නොගැලපෙන නිසා නැවත පාවිච්චියට ගන්නේ නැතුව අයින් කල අවස්ථා ඕන තරම් තියෙනවා. නමුත් මිනිමලිස්ට් කෙනෙක් වුණාට පස්සේ මට ගැලපෙන ඇදුම් පැළදුම් මොනවද කියලා මම හොදින් දැනුවත් වුණා. ඒ නිසා නොගැලපෙන දේයකට ආස හිතුණාට මම කීයටවත් ඒ දේ මිලට ගන්නේ නැහැ වගේම ඇදුමක් ගන්නේ එක මට අත්‍යාවශ්‍ය නම් විතරයි. ඒ වගේම සපත්තු දෙකක් හෑන්ඩ් බෑග් එකක් මිලට ගන්නේ මං සතුව තියන එක කැඩුනොත් නැත්තම් භාවිතා කරන්න බැරි තත්වෙකට පත් වුනොත් විතරයි. ඉතින් මේ වෙනස නිසා මම මාසෙකට රු.3500 ගානේ අවුරුද්දට රු.42000ක් ඉතුරු කර ගත්තා. 

6. අංක හය, රුපලාවන්‍ය කටයුතු හා රුපලාවන්‍ය නිෂ්පාදන සදහා මුදල් වියදම් නොකිරීම.

මිනිමලිස්ට් ජිවන රටාවට හුරු වෙන්න කලින් මම ෆෙෂල්, ත්රේඩින්, හෙයාර් කට් වගේ දේවල් කරගන්න සැලෝන් එකකට යන්න පුරුදු වෙලා හිටියා අනිත් හැමකෙනෙක්ම වගේ. නමුත් මිනිමලිස්ට් කෙනෙක් වුණාට පස්සේ මම තවදුරටත් මේ දේවල් වලට මුදල් වියදම් කරන්නේ නැහැ. මේ දේවල් ඔක්කොම මම තනියම ගෙදරදී කරගන්නවා. ඔයාලටත් පුළුවන් මේ දේවල් තමන් විසින්ම කරන හැටි ඉගෙන ගන්න. ඒ වගේම තමයි මම දැන් රුපලාවන්‍ය නිෂ්පාදන මිලට ගන්නේ නැහැ. මිනිමලිස්ට් කෙනෙක් වෙන්න කලින් මම දහස් ගණන් මුදල් රුපලාවන්‍ය නිෂ්පාදන වෙනුවෙන් වියදම් කළා. විශේෂෙන්ම පැහැපත් වෙන්න එක එක ක්‍රීම් වර්ග, ලිප්ස්ටික් වර්ග, විවිධ වර්ණයේ නිය ආලේපන වගේ දේවල්.  නමුත් මිනිමලිස්ට් කෙනෙක් වුණාට පස්සේ මම තේරුම් ගත්ත වැදගත්ම දේ තමයි මේ නිෂ්පාදන වලින් කරන්නේ මිනිස්සුන්ව මුලා කිරීමක් පමණක්ම බව. ඉතින් දැන් මම කිසිම රුපලාවන්‍ය නිෂ්පාදනයක් මිලට නොගෙන මගේ රුපලාවන්‍ය හොදින් තියාගෙන ඉන්නවා ස්භාවික ක්‍රම අනුගමනය කරමින්.ඒ වගේම තමයි මේක අපේ සෞඛ්‍යටත් හොදයි. ඔයාලා කැමති නම් අපි තවත් ලිපියකින් කතා කරමු කොහොමද ස්භාවිකව රුපලාවන්‍ය දියුණු කරගන්නේ කියලා. මිනිමලිස්ට් කෙනෙක් උනාට පස්සේ මම භාවිතා කරන්නේ ලිප් බාම් එකක්, නිය ආලේපනයක් හා මොයිස්චරයිසර් ක්‍රීම් එකක් පමණයි. මේ දේවල් එකක් ඉවර වෙනකන් මම නැවත එකක් මිලට ගන්නේ නැහැ. ඒ වගේම නිය ආලේපන මම කලින් වගේ හැම පාටින්ම දකින දකින එක ගන්නේ නැහැ. දැන් මම තෝරගත්ත මට ගැලපෙන එක පාටකින් එකක් විතරයි ගන්නේ, එක ඉවර වුනාම තමයි නැවත එකක් මිලට ගන්නේ.

ඉතින් මේ වෙනස නිසා මම මාසෙකට රු.5000 ගානේ අවුරුද්දකට රු.6000ක් ඉතුරු කරගත්තා.

7. අංක හත තමයි මම තව දුරත් ව්‍යායාම මධ්‍යස්ථානයකට යන්නේ නැහැ.

ව්‍යායාම කරන එක ඇත්තටම හොද දෙයක්. නමුත් මම මිනිමලිස්ට් කෙනෙක් වුණාට පස්සේ තවදුරටත් ව්‍යායාම කරන්න ව්‍යායාම මධ්‍යස්ථානයකට යන්නේ නැහැ. මම ගෙදරදීම මගේ ව්‍යායාම ටික කරනවා. මේවට අවශ්‍ය උපදෙස් ගන්න ඕන තරම් වෙබ්අඩවි වගේම වීඩියෝ අද අන්තර්ජාලයේ තියනවා. ඉතින් ඒ නිසා මගේ ව්‍යායාම සදහා මුදල් ගෙවා ව්‍යායාම මධ්‍යස්ථානයකට යන එක අනවශ්‍යය දෙයක් ලෙසයි මං දකින්නේ. ඉතින් මම ගෙදරම පොඩි හෝම් ජිම් එකක් හදාගත්තා වෙයිට් ප්ලේට්ස්, බාර්, ඩම්බෙල් වගේ දේවල් ටිකක් අරගෙන. ඉතින් මේ ක්‍රමය නිසා මාසෙට රු.2500 ගානේ අවුරුද්දට රු.30,000ක් ඉතුරු කර ගන්න මට පුළුවන් වුණා. 

ඉතින් මිනිමලිසම් නිසා මේ දේවල් වලින් විතරක් මම අවුරුද්දට රු.277,000/= ඉතුරු කරගෙන තියෙනවා. මේ දේවල් මේ විදිහටම මේ ගාණම ඔයාටත් ඉතුරු කරගන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. මොකද අපි කෙනාගෙන් කෙනාට වෙනස් නිසා අපේ අදායම හා අවශ්‍යතා වෙනස් වෙනවා. නමුත් මේ ක්‍රමය අනුගමයන කරන එකෙන් ඔයාලට අනිවාර්යෙන්ම වෙනදාට වඩා අඩුවෙන් නැත්තම් සිහිබුද්ධියෙන් වියදම් කරන්න වගේම වැඩියෙන් ඉතිරි කරන්න පුළුවන් වෙනවා. 

No comments:

Post a Comment

තාත්තා

තාත්තා  දෙවන පරිච්ඡේදය   මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...