Thursday, June 6, 2019

ජීවිතය පහසු කරවන මිනිමලිස්ට්(Minimalist) ජිවන රටාවට හුරු වෙන්නේ කොහොමද?


ජීවිතය පහසු කරවන මිනිමලිස්ට්(Minimalist) ජිවන රටාවට හුරු වෙන්නේ කොහොමද?

මිනිමලිස්ට් ජිවන රටාවට හුරු වීම මගින් ඔයාට කාලය ඉතුරු කරගන්න පුළුවන්, වෙනදාට වඩා වැඩියෙන් ඔයාගේ බැංකු ගිණුමේ මුදල් එකතු කරගන්න පුළුවන්. එකට නම් අපි හැමෝම කැමති නේ නේද? ඒ වගේම තමයි ඉතාම පහසුවෙන් ජිවිතයට ඉලක්කයක් අරමුණක් තියාගෙන වැඩ කරන්න පුළුවන්.
ඉතින් ඔයා මේ මිනිමලිස්ට් ජිවන රටාවට අලුත් කෙනෙක් නම් ඔයාට මිනිමලිස්ට් ජිවන රටාව ආරම්භ කරන්න මුලිකවම පහසුවෙන් කරන්න පුළුවන් දේවල් 5ක් තියෙනවා.
ඉතින් අපි බලමු මොනවද මේ දේවල් 5 කියලා.
1.පලවෙනිම හා වැදගත්ම දේ තමයි, ඇයි ඔයාට මිනිමලිස්ට් කෙනෙක් වෙන්න ඕන ඇයි කියන එක තේරුම්ගන්න එක.
මුලිම ඔයාට වෙනස් වෙන්න ඕන ඇයි කියලා හිතන්න. ඒ කාලය ඉතුරු කරගන්න වෙන්න පුළුවන්, මුදල් ඉතුරු කරගන්න වෙන්න පුළුවන්, නැත්තම් පිළිවෙලට ජිවත් වෙන්න ඕන නිසා වෙන්න පුළුවන්, එහෙමත් නැත්තම් ඔයා දැන් මේ ගෙවන සාමාන්‍ය ජිවිත ගොඩක් කලබලකාරී, වෙහෙසකර එකක් නිසා වෙන්න පුළුවන් වගේම හේතුව මේ දේවල් ඔක්කොම වෙන්නත් පුළුවන්. ඔයාට මිනිමලිස්ට් කෙනෙක් වෙන්න ඕන ඇයි කියන එක තේරුම් ගන්න තරමට ඔයාට මේ ජිවන රටාවට අනුගත වෙන එක පහසු වෙනවා.
පුද්ගලිකව මුලින්ම මම මිනිමලිස්ට් කෙනෙක් වෙන්න තීරණය කරනකොට මම මුලින්ම හිතුවේ මගේ එදිනෙදා ජිවිතයේ වැඩ පහසු කරගන්න එක. ඒ වෙනකොට කලබලකාරී වැඩ අධික ජිවන රටාවෙන් මම හොදටම හෙම්බත් වෙලා හිටියේ. ඒ අතර දිනපතාම නිවස මාගේ කාමරය පිරිසිදු කලත් නැවත විනාඩි කිහිපයකින් අනවශ්‍ය දේවල් එහේ මේහේ දාලා මේ තැන් අපිළිවෙල වෙන එක. එක ඇදුමක් තෝරන්න ගිහින් මුළු අල්මාරියම නැවත පිළිවෙලට සකසන්න වෙනම වෙලාවක් ගත වෙන එක. හදිසියට කතුරක් පිහියක් වගේ දෙයක් හොයන්න ගිහාම කවදාවත් එක අවශ්‍ය වෙලාවට හොයාගන්න බැරි වෙන එක. උදේට වැඩට යන්න ලෑස්ති වෙනකොට හැම තැනම එක එක දේවල් හොයලා මුළු ගෙදරම කම්මලක් වගේ වෙන එක. ප්‍රධානයි. නමුත් මිනිමලිස්ට් ජිවන රටාවට හුරු උනාට පස්සේ මට මගේ නිවස කාමරය පිරිසිදු කරන්න ගත උනේ විනාඩි කිහිපයක් විතරයි. ඒ වගේම දවසම නැවත මේවා අපිළිවෙල වෙන්නේ නැතුව තියාගන්න මට පුළුවන් උනා. ඒ වගේම තමයි අනිත් හැමදේමත්. ඉතින් මිනිමලිස්ට් කෙනෙක් වෙන අරමුණ මම බොහෝ දුරට දැන් සපුරාගෙන තියනවා. මේ අරමුණ අපි එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනස් වෙන්න පුළුවන්.
2. දෙවැනි කාරනාව තමයි අනවශ්‍ය බඩු භාණ්ඩ ඉවත් කිරීම.
ඇත්තටම මේක තමයි මිනිමලිස්ට් ජිවන රටාවට හුරු වෙනකොට අපිට කරන්න අමාරුම දේ. මොකද අපි හැමෝම අපි ආස කරන එක එක දේවල් උවමනාවටත් වැඩියෙන් නැත්තම් කවදාවත් පාවිච්චි කරලා නැති උනත් ඒ දේට ආස නිසා ඒවා අපි ගාව තියාගෙන ඉන්න පුරුදු වෙලා ඉන්නවා.
ඉතින් මිනිමලිස්ට් ජිවන රටාවට හුරු වෙන්න නම් මුලින්ම අපි කරන්න ඕන මේ අපි ආස නිසා තියාගෙන ඉන්න නමුත් අපිට අනවශ්‍ය දේවල් නිවසින් නැත්තම් ඔබේ කාමරයෙන් බැහැර කරන එක. විශේෂෙන්ම අපි හැමකෙනෙක් ගාවම තියන දේවල් තමයි කවදාවත් පාවිච්චි කරලා නැති මේක් අප් අයිටම්ස්, ආලේපන වර්ග, සුවද විලවුන්. සමහරවිට මේවා කල් ඉකුත් වෙලා වෙන්නත් පුළුවන් අපි නොදැනුවත්වම.මොකද ඒ දේවල් කබඩ් වල නැත්තම් රාක්ක වල අවුරුදු, මාස, දින ගණන් එකම විදියට තිබිලා තියෙනවා අපි දන්නෙවත් නැතුව. ඒ වගේම කිසිම දවසක ඇදලා නැති ඇදුම්, නැත්තම් එක පාරක් විතරක් ඇදලා නැවත ඕන වෙයි කියලා හිතාගෙන අවුරුදු ගානක් තියන් ඉන්න ඇදුම්.( නමුත් මේවා සමහර විට ඔයාට දැන් සයිස් මදි වෙන්නත් පුළුවන්) කියවලා ඉවර අවුරුදු ගණන් පරණ පොත්, සගරා, පත්තර. මේ දේවල් ඔක්කොම අයින් කරන්න ඔයා හිත හදාගන්නම ඕන. හිතනකොටත් දුකයි නේද? එත් මේ අනවශ්‍ය දේවල් වලින් ඈත් වෙලාම බලන්න හිතට, ඇහැට කොයි තරම් සැහැල්ලුද ප්රියමනාපද කියලා.
නමුත් මේ දේ අපි කාටවත් එක දවසින් කරන්න බැහැ. සම්පුර්ණේන්ම අපිට අනවශ්‍ය දේවල් අයින් කරන්න මාස කිහිපයක් ගත වෙනවා. නමුත් හැම දවසකම ඔයා දකින ඔයාට අනවශ්‍යයි කියලා හිතෙන දේවල් බැහැර කලොත් මාස කීපයක් ඇතුලත මේ දේ කරගන්න අපිට පුළුවන්.
3. තුන්වෙනි කාරණාව තමයි මේ අන් අයට උපකාර කිරීම.
අනිත් අයට උදවු කරන එක කොහොමද මිනිමලිස්ට් කෙනෙක් වෙන්න බලපාන්නේ කියලා දැන් ඔයා හිතනවා නේද? ඇත්තටම අපි නිවසින් නැත්තම් අපේ කාමරයෙන් අයින් කරන අනවශ්‍ය දේවල් ඒවා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට දෙන්න පුළුවන්. විශේෂෙන්ම දුප්පත් නැතිබැරි කෙනෙකුට එකෙන් ලොකු උදවුවක් වෙන්න පුළුවන්. එක තමයි මම කිවුවේ අන් අයට උපකාර කිරීම කියලා. විශේෂෙන්ම අවුරුදු කිහිපෙකට කලින් මිලට ගත්ත ඔයා එක පාරක් දෙපාරක් ඇදපු ඇදුම් දැන් ඔයාට මදි වෙන්න පුළුවන්, නැත්තම් ඒවා දැන් ඔයාට නොගැලපෙනවා කියලා හිතන නිසා ඔයා අදින්නේ නැති ඒවා වෙන්න පුළුවන්. මේ වගේ දේවල් ඔයාට නැතිබැරි කෙනෙකුට දෙන්න පුළුවන්. එකෙන් ඔයා ඒ දේ විසි කරනවා වෙනුවට තව කෙනෙක්ට යහපතක් වෙනවා.
සාමාන්‍යයෙන් ගොඩක් රටවල මිනිමලිස්ට් වෙන තමන්ට අනවශ්‍ය තව කෙනෙකුට අවශ්‍ය වෙන්න පුළුවන් කියලා හිතන දේවල් බාස්කට් වල දාලා පාර අයිනෙන් තියලා තියෙනවා ඒ දේවල් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ අයට ගන්න පුළුවන් වෙන විදිහට. විශේෂෙන්ම එයාලා මේ දේ කරන්නේ නිවාස නැතිව මහමග අසරණව සිටින අය වෙනුවෙන්.
4. හතර තමයි අත්‍යාවශ්‍යම දේවල් පමණක් මිලට ගැනීම.
මේක ඇත්තටම තවත් මිනිමලිසම් ක්‍රමයට හුරු වීමේදී ඇති වෙන අභියෝගයක්. අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ ලස්සන ඇදුමක් දැක්කොත් එක කොහොම හරි මිලදී ගන්න. එහෙමත් නැත්තම් රස කෑමක් දැක්කොත් එක මිලට ගන්න. නැත්තම් හොද හෑන්ඩ් බෑග් එකක් සපත්තු දෙකක් දැක්කොත් එක ගන්න. පත්තරේක සගරාවක හෙඩ් ලයින් එක දැකලා කියවන්න ආසාවට එක මිලට ගන්න. සුපර් මාර්කට් එකකට ගියොත් ගන්න ආපු බඩුව නෙවෙයි එතන තියන වෙන වෙන ඒවාට හිත ගිහින් ගන්න ආවා වගේ දෙගුණයක් තුන්ගුණයක් බඩු අරගෙන යන්න අපි හැම කෙනෙක්ම වගේ නොදැනුවත්වම පෙලබෙනවා.
නමුත් මිනිමලිස්ට් කෙනෙක් වෙන්න නම් ඔයා මේ පුරුදු අත අරින්න ඕන. මොකද මිනිමලිස්ට් කෙනෙක් අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්නේ නැහැ. ඒ මොකද කිවුවොත් මිනිමලිස්ට් කෙනෙක් වෙන එකේ ප්‍රධාන අරමුණක් තමයි මුදල් ඉතිරි කර ගැනීම. ඒ වගේම තමයි අනවශ්‍ය දේවල් නිවසේ ගොඩ ගහගන්නේ නැති එක. ඒ නිසා අපි අපිට අත්‍යාවශ්‍යම දෙයක් විතරයි මිලට ගන්නේ. එකෙන් අපේ කාලය, මුදල් වගේම නිවසේ ඉඩකඩ ඉතිරි වෙනවා. එත් ඇත්තටම මිනිස්සු විදියට අපි හැමෝටම ආසාවන් ඇති වෙනවා. ඒ නිසා අනවශ්‍ය දේවල් මිලට හිතනකොට ඔයා ඔයාගෙන්ම මේ දේවල් 3 අහන්න.
1.මම මේ දේට ආසයිද?
2.මට මේ දේ අවශ්‍යයිද?
3.මට මේ දේ නොමැතිව ජිවත් වීම අපහසුයිද? කියන එක.
දැන් ඔන්න ඔයා ගමනක් යනකොට සාප්පුවක ඉස්සරහා තියලා තියන ලස්සන සපත්තු දෙකක් දකිනවා. ඉතින් මේකට ආස වෙන ඔයා එක මිලදී ගන්න යනවා. නමුත් දැන් ඔයා මිනිමලිස්ට් කෙනෙක් වෙන්න උත්සහ කරන නිසා මේ දේවල් ටික ඊට කලින් තමන්ගෙන්ම අහන්න,
1.මම මේ දේට ආසයිද? එක අහන්නත් දෙයක්ද නේද? උත්තරේ ඔව් නේ. එක නිසා නේ ඔයා එක දැන් මිලදී ගන්න හදන්නේ.
2.මට මේ දේ අවශ්‍යයිද? ඔව්. ඇත්තටම ඔයා ඔයාට මේක අවශ්‍යයි කියලා හිතනවා.
3.මට මේ දේ නොමැතිව ජිවත් වීම අපහසුද? උත්තරේ ඔව් නම් ඔයාට මේ අවස්ථාවේ පළදින්න සපත්තු දෙකක් නැති වෙන්න ඕන. සපත්තු දෙකක් දැනටම ඔයා සතුව තියෙනවා නම් මේ ගන්න හදන සපත්තුව කිසිලෙසකින්වත් ඔයාට අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයි.
උත්තරේ හරිම සරලයි. නමුත් මේකට අපේ මනස හදාගන්න එක තමයි අමාරුම. නමුත් මිනිමලිස්ට් කෙනෙක් වෙලා කාලයක් ගත වෙනකොට මේ දේට අපි ඉබේම හුරු වෙනවා.
5. පහ තමයි කවදාවත් ණය වෙන්න එපා.
මේක මිනිමලිස්ට් කෙනෙක් උනත් නැතත් අපි හැමෝටම වටින දෙයක්. ණය වෙනවා කියන්නේ එක අපේ හිතට ලොකු බරක් නේද? නමුත් දිගින් දිගටම ණය වුන කෙනෙක්ට මේක ඒතරම් දෙයක් නෙවෙයි. කොහොම හරි ණයට සල්ලි අරන් හරි තමන්ට ඕන දේවල් කරන්න පෙලබුණු මිනිස්සු ඕන තරම් ඉන්නවා. නමුත් ඇත්තටම බැලුවොත් මේවගෙන් ගොඩක් දේවල් අනවශ්‍ය දේවල්.
විශේෂෙන්ම අපිට වේඩින් එකකට පාර්ටි එකකට ආරාධනයක් ලැබුණා කියලා හිතන්න. අපේ අතේ සල්ලි නැත්තම් කොහෙන් හරි ණයට සල්ලි හොයාගෙන මේ වෙඩින් එකට යන්න ඇදුම්, තෑගී බෝග ගන්න අපි අනිවාර්යෙන්ම පෙලබෙනවා. මොකද ඒ අනිත් කෙනා අපි නොගියොත් වැරදියට හිතයි, අපි හරියට ඇදලා ගියේ නැත්තම් මිනිස්සු මොනවා හිතයිද? එහෙමත් නැත්තම් තෑග්ගක් ගෙනිච්චේ නැත්තම් හරි නැ. මේවා ඇත්තටම අපි හිතින් හදාගත්ත දේවල්. වෙඩින් එකට එන්න කියන කෙනා ඔබේ හිතවතෙන් නම් අනිවාර්යෙන්ම ඔබේ අපහසුතා ඔවුන් දැන සිටිය යුතුයි.
ඒ වගේම තමයි අපි විවහා උත්සව නැත්තම් දරුවන් වැඩිවියට පැමිණෙන උත්සව, උපන්දින උත්සව හැමෝටම කියලා ලොකුවට ගන්න තමයි කැමති. ඔයාට එකට යහමින් මුදල් තියෙනවා නම් එහෙම කරන එක කිසිම ගැටළුවක් නැහැ. නමුත් කවදාවත් තමන්ට නැති තත්වයක් පෙන්නන්න ණය වෙලා මේ දේවල් කරන්න එපා. මොකද ලක්ෂ ගානක් වියදම් කරලා වෙඩින් එක ගත්තත් පොතේ අත්සන් කරලා ගෙදර ගියත් වෙන්නේ එකම දේ, ඒ තමයි ඔය දෙන්නා විවහා වෙන එක. ඒ වගේම මිනිස්සුන්ට පෙන්න, හැමෝම කරන නිසා නැත්තම් එහෙම නොකලොත් හරි නැහැ නේ කියලා නම් මේ දේවල් කරන්නේ එකත් වැඩක් නැ. මොකද ඔයා ලක්ෂ ගානක් වියදම් කරලා ලොකුවට වෙඩින් එකක් ගත්තත් වැඩිම උනොත් මිනිස්සු ඒ ගැන සතියක් මාසයක් කතා වෙයි. ඊට පස්සේ කාටවත් එක මතක නැහැ සහ කාටවත් එකෙන් වැඩක් නැහැ. නමුත් ණය වෙලා මේ දේවල් කලොත් මාසෙන් මාසෙට ණය ගෙවන වාරයක් පාසා ඔයාට මේක මතක් වෙයි. අපරාදේ නේද මේ දේට මෙච්චර වියදම් කලේ කියලා හිතෙයි. ඊට පස්සේ ඔයාට දරුවෙක් ලැබුණ දාට එයාට වෙන්න ඕන දේවල් වල අඩු පාඩු මතු වෙන්න ගන්නකොට වෙඩින් එක තමන්ට තියෙන හැටියට කළා නම් මේ සල්ලි දරුවා වෙනුවෙන් යොදන්න තිබුනා නේද කියලා හිතෙයි. එහෙම පසුතැවීමක් ජිවිතයට ලගා නොවෙන විදියට වැඩ කරන්න.
ඒ නිසා කවදාවත් ලෙඩකට බෙහෙතක් ගන්න ගෙදර අයට කන්න නැතුව ඉන්නවා නම් කෑමක් ගන්නවා වගේ අත්‍යාවශ්‍ය දේකට ණයට ගන්නවා ඇරෙන්න අනවශ්‍ය දේවල් වලට ණය වෙන්න හිතන්නවත් එපා. තමන්ගේ ආදායමට ගැලපෙන්න වියදම හදාගන්න. අනවශ්‍ය වියදම් අඩු කරන්න. මිනිමලිස්ට් ජිවන රටාවට පුරුදු වෙනකොට මේ දේවල් ලේසියෙන්ම කරගන්න ඔයාට පුළුවන් වෙනවා.

ඉතින් මේ අනවශ්‍ය වියදම් අඩු කරලා මුදල් ඉතිරි කරන්නේ කොහොමද? අපි ඊළග ලිපියෙන් මේ ගැන කතා කරමු.

No comments:

Post a Comment

තාත්තා

තාත්තා  දෙවන පරිච්ඡේදය   මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...